Body

Dialog වෙතින් ඩිජිටල් ගනුදෙනු පහසු කිරීමට Dialog Pay හඳුන්වාදෙයි

ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් ඒකාබද්ධ කරමින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික දියුණුව උදාකරයි

2026 ජූලි 07         කොළඹ

 

(වමේ සිට) Dialog Pay දියත් කිරීමේ අවස්ථාවට එක් වූ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි, අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී, සුපුන් වීරසිංහ මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනී රේණුකා ප්‍රනාන්දු මහත්මිය, Dialog Enterprise හි සමූහ ප්‍රධාන නිලධාරී, නවීන් පීරිස් මහතා සමග ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා ඡායාරූපයේ දැක්වේ.

ශ්‍රී‍‍‍‍‍‍ ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ජනතාවගේ ජීවිතවලට, ඩිජිටල් ගෙවී‌මේ ක්‍රම සමීප කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස, MyDialog App හරහා දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් එකම ඩිජිටල් පද්ධතියකට රැගෙන එමින්, Dialog Pay හඳුන්වාදුන් බව සතුටින් දැනුම්දෙන ලදී. ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී දියත් කරන ලද LankaQR ගෙවීම් ක්‍රමය ප්‍රචලිත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව, ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද ජනගත කිරීම වේගවත් කිරීමෙන්, ඩිජිටල් ආර්ථියක් ගොඩනැගීම, Dialog Pay හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණයි. මේ ඔස්සේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට, ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය පුරුද්දක් ලෙස එක්කිරීම දිරිගන්වමින්, ඉතා පහසු හා සරල ලෙස ඩිජිටල් ගනුදෙනු සිදුකිරීමටත් ඒ ඔස්සේ Data වාසිද ලබාගැනීමටත් අවස්ථාව සලසා ඇත.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වූ සුවිශාල වෙළෙඳ ජාලයක් පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන Dialog Pay, රට පුරා නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙඳ සල් 100,000කට අධික ප්‍රමාණයකදී පාරිභෝගිකයින්ට ඉතා ආරක්ෂිතව, වඩාත් පහසුවෙන් LankaQR ගෙවීම් සිදුකිරීමේ හැකියාව පිරිනමයි. ඒ අනුව පාරිභෝගිකයින්ට, සුපිරි වෙළෙඳ සල්, ආපනශාලා, ඇඳුම් පැළඳුම් හා විදුලි උපකරණ අලෙවිසැල්, රෝහල් සහ සාමාන්‍ය අලෙවි සල් ඇතුළු ස්ථාන රාශියකින් ඔවුන් ලබාගන්නා භාණ්ඩ හෝ සේවාවන් සඳහා, පහසුවෙන්ම QR කේතය Scan කර, මුදල් ගෙවිය හැක. මෙය රටපුරා ව්‍යාපාරවලටද, ශීඝ්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලාංකීය ඩිජිටල් ආර්ථිකය වෙනුවෙන් තම සක්‍රීය දායකත්වය ලබාදීමට හැකියාව සලසන විසඳුමකි.

මේ සමඟ Genie, එහි නවතම වෙළෙඳ නාමය වන, Dialog Pay ලෙස නව්‍යකරණය වේ. දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් ඒකාබද්ධ වූ පුළුල් ඩිජිටල් පද්ධතියක් දක්වා සමාගම ලබා ඇති සුවිශාල පරිණාමය පෙන්නුම් කරන, Dialog Pay මගින් පාරිභෝගිකයින්ට, දැන් තම අවශ්‍යතා රැසක් ඒ හරහා ඉටුකර ගතහැක. ඒ අනුව, Dialog Pay App සහ MyDialog App හරහා පාරිභෝගිකයින්ට තම eZ Cash ගිණුම භාවිත කර හෝ තමන් කැමති බැංකු ගිණුමක් ඊට එක් කිරීම මගින්, ඉතා පහසුවෙන් Dialog Pay භාවිත කළ හැක. එමගින්, LankaQR හරහා මුදල් ගෙවීමද, වෙනත් ගිණුමකට මුදල් යැවීමද පහසුවෙන්ම කළ හැකි වේ. එමෙන්ම, ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමේ පහසුවත් මෙමගින් සලසා දී ඇති අතර, Dialog Finance මඟින් ණය පහසුකම් ලබාගැනීමටද මෙය භාවිත කළ හැක.

ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් දිනපතා තම ඩිජිටල් මුදල් ගෙවීමේ කටයුතු සඳහා Dialog Pay භාවිත කිරීම දිරිගැන්වීමේ අරමුණෙන් ඒ හරහා සිදුකරන QR ගෙවීම් සඳහා ඩයලොග් වෙතින් නොමිලේ Data වාසිද හිමි වේ. පාරිභෝගිකයින්ට ඩිජිටල් මුදල් ගෙවීම් වෙත පහසුවෙන්ම යොමුවී, නිරන්තරයෙන් ඒ හරහා ගනුදෙනු කිරීමටත්, ඩිජිටල් මුදල් ගෙවීම් ඔවුන්ගේ දිගුකාලීන ජීවන පුරුද්දක් බවට පත්කරගැනීමටත් එමගින් දිරිගන්වනු ලබයි.

මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙලෙස සඳහන් කළේය. "ඩයලොග් හි අප සැමවිටම විශ්වාස කරන්නේ, තාක්ෂණය භාවිත කරමින් ශ්‍රී ලාංකික ජන ජීවිත සහ ව්‍යාපාර සවිබල ගැන්වීම දක්වා වූ පුළුල් කාර්යභාරයක් අප සතුව ඇති බවයි. ශ්‍රී ලංකාවේ වේගයෙන් දියුණු වන ඩිජිටල් ආර්ථිකයට විශාල වශයෙන් දායක වීමට ශ්‍රී ලාංකිකයින් දිරිගන්වන අතරම, Dialog Pay හරහා පාරිභෝගිකයින්ට ඩිජිටල් ගනුදෙනු සහ මුල්‍ය සේවාවන් වෙත පහසුවෙන්ම පිවිසීමට හැකියාව සැලසීමත්, ඩිජිටල් ගෙවිම් ඔවුන්ට වාසිදායක අත්දැකීමක් බවට පත්කිරීමත් තුළින් පෙන්නුම් කෙරෙන්නේ, එම පුළුල් කාර්යභාරය වෙනුවෙන් අප කැපවන බවයි. මෙරට ඩිජිටල් පරිවර්තනය සහ ඩිජිටල් ගෙවීම් පද්ධතිය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම LankaPay ආයතනය විසින් දක්වනු ලබන අඛණ්ඩ කැපවීම අප විශේෂයෙන් අගය කරනවා. එම ජාතික කර්තව්‍යයට දායකවීමට අප සමඟ අත්වැල් බැඳගත් සියලුම හවුල්කරුවන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරන අතර, රට පුරා ඩිජිටල් ගනුදෙනු වේගවත් කිරීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් සමඟ අත්වැල් බැඳ කටයුතු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.”

ශ්‍රී ලාංකික ජීවිත සවිබල ගැන්වීමේ අරමුණෙන් තාක්ෂණික විසඳුම් පිරිනැමීම වෙනුවෙන් ඩයලොග් සතු අඛණ්ඩ කැපවීමේ පියවරක් ලෙසින් හඳුන්වාදුන් Dialog Pay හරහා, ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වූ සුවිශාල වෙළෙඳ ජාලයක්, ඩිජිටල් මූල්‍ය සේවා සමූහයක් සහ පාරිභෝගික ප්‍රතිලාභ එක්කර තිබේ. ඒ අනුව, පාරිභෝගිකයින්ට පහසුවෙන්ම ඩිජිටල් මුදල් ගෙවීමේ කටයුතුවලට යොමු වීමටත්, වාසි අත්විඳීමටත් හැකි වේ. ඒ අතරම, සියලු දෙනා ඇතුළත් කරගනිමින්, ගොඩ නැගෙන ශ්‍රී ලාංකීය ඩිජිටල් ආර්ථික පරිවර්තනයක් කරා යන ගමන කඩිනම් කිරීමටද Dialog Pay මඟ පාදනු ඇත.