Body

22 වන යුද්ධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය ඩයලොග් විසින් බලගන්වයි

22 December 2019         Colombo

 

news-1

ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී, සන්නාම හා මාධ්‍ය, හර්ෂ සමරනායක මහතා අනුග්‍රාහක චෙක්පත යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න වෙත භාර දෙමින්. (වමේ සිට) යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් රෝලන්ඩ් බෝගොඩවත්ත සහ යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ ලේකම් බ්‍රිගේඩියර් රාජා ගුණසේකර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් බලගන්වන 22 වන යුද්ධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය 2019 දෙසැම්බර් 27 වන දින සිට 29 දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙවර පැරා ක්‍රීඩා තරගාවලිය සඳහා රෙජිමේන්තු 11ක ආබාධිත රණවිරුවන් 700ක් කාණ්ඩ 12ක් යටතේ සහහාගි වන අතර, දුනුවිදීම, බැඩ්මින්ටන්, පාපැදි, වෙඩිතැබීම, මේස පන්දු, බර ඉසිලිම, රෝදපුටු මැරතන්, රෝදපුටු ටෙනිස්, පිහිනුම්, වෙරළ වොලිබෝල්, ගෘහස්ථ ඔරු පැදිම සහ මලල ක්‍රීඩා ඉසව් පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇත.

ඩයලොග් ආසිආටා සමාගම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා උළෙලෙහි දිගුකාලීන අනුග්‍රාහකයෙකි. එමෙන්ම දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගැනීම උදෙසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමත්, ඔවුන්ගේ ශාරීරික හැකියාවන් ශක්තිමත් කිරීම හා මානසික ශක්තිය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

මෙවර යුද්ධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලියේ ජවන හා පිටිය තරග ඉසව් 60 පවත්වනු ලබන අතර, පැරාලිමිපික්, ලෝක ශූරතා හා ආසියානු තරග ජයග්‍රහණය කල ප්‍රවීණ ක්‍රීඩකයන්ද සහභාගිවීම විශේෂත්වයක්. එමෙන්ම මෙම තරගාවලිය ආබාධිත රණවිරුවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් එළිදැක්වීමේ සුවිශේෂී අවස්ථාවක් වනවා සේම‚ ඔවුන්ගේ ශාරිරික හා මානසික පුනරුත්ථාපනය සදහාද මහත්සේ ඉවහල් වන බව යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටු සභාපති හා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි‚ මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න පවසා සිටී.

ජාතික පැරාලිම්පික් කමිටුව සහ ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව වැනි පාලක ආයතන හරහා‚ වසර ගණනක් පුරා දියත් කර ඇති තරග මාලාව ප්‍රධාන වශයෙන් දෘශ්‍යාබාධිත, ශාරීරිකව දුර්වල වූවන් සහ රෝද පුටු වශයෙන් කාණ්ඩ තුනකට සීමා වේ.

වර්තමාන යුද්ධ හමුදාධිපති ලූතිතන් ජෙනරාල් L.H.S.C. සිල්වා WWV RWP RSP VSV USP ndc psc ගේ උපදෙස් හා මග පෙන්විම යටතේ‚ ක්‍රීඩකයන් සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ,පුහුණුකරුවන් හා අනෙකුත් අවශ්‍යතා ලබාදෙමින් මෙම ක්‍රීඩාවේ නියුතු ක්‍රීඩකයන් හට තවත් ඉදිරියට යාමට අවශ්‍ය පූර්ණ සහය ලබාදේ. එමෙන්ම වර්තමාන යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ ගරු සභාපති මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න WWV RWP RSP ndu psc ගේ නායකත්වය හා මග පෙන්වීම යටතේ‚ මෙවර තරගාවලිය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විමට සූදානම් කර ඇති අතර, මෙම ක්‍රීඩා උළලේ සමාරම්භක උත්සවය 2019 දෙසැම්බර් මස 27 වන දින පෙව: 08.30 පැවැත්විමට ද සමාප්ති උත්සවය 2019 දෙසැම්බර් මස 29 වන දින පව: 3.00 පැවැත්විමට ද සියලු කටයුතු සම්පාදනය කර ඇත.

ඩයලොග් ආසිආටා පීඑල්සී ජාතික ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙසද කටයුතු කරන අතර ජාතික කණිශ්ඨ වොලිබෝල් තරගාවලිය, ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය, ජාතික කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි, ප්‍රිමියර් පාපන්දු සහ පාසල් ක්‍රිකට් තරගාවලි මෙන්ම ජාතික පැරා මලල ක්‍රීඩාවලිය බලගන්වමින් පැරා ක්‍රීඩා සදහාද දායකත්වය ලබා දෙයි.