Body

ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් ඩයලොග් ආසිආටා සුබැපැතුම් එක්කරයි

ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වක ශ්‍රී ලාංකාවේ පළමු ලෝක වාර්තාව සනිටුහන් වෙයි

August 31st, 2021        Colombo

 

news-1

2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී එෆ් 46 කාණ්ඩයේ රන් පදක්කම සමගින් ලෝක වාර්තාව සියතට ගත් දිනේෂ් ප්‍රියන්ත හේරත්ගේ එකී සුවිශේෂී දක්ෂතාව සමග සමිත දුලාන් කොඩිතුවක්කු විසින් දිනාගන්නා ලද ලෝකඩ පදක්කමත් ඇතුළු පෙර නොවූ විරූ දස්කම් දැක්වීම සම්බන්ධයෙන්, දශක දෙකකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම වෙනුවෙන් නිල අනුග්‍රහය දැක්වනු ලබන ඩයලොග් ආසිආටා සමාගම සිය සුභාශිංසන එක්කරයි.

2021 අගෝස්තු 30 වැනිදා උදෑසන කාලයේදී මෙරට ක්‍රීඩාවේ අලුත් ඉතිහාසයක් සටහන් කළ දිනේෂ් ප්‍රියන්ත හේරත්, ජපානයේ ටෝකියෝ හී 2020 පැරාලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවේ පළමු රන් පදක්කම දිනාගෙන මද වේලාවකට පසු ඔහුගේ කණ්ඩායම් සගයා වන සමිත දුලාන් කොඩිතුවක්කු සිය පුද්ගලික හොඳම කාලය දක්ෂතාව සමග එෆ 64 හෙල්ල විසිකිරීම් ඉසව්වේ මීටර 65.61ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනාගන්නා ලදි.

මෙම උළෙල සඳහා සහභාගී වන 9 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාද වන, දිනේෂ් ප්‍රියන්ත හේරත් වාර්තා පොත් අතරට එක්වෙමින් එෆ් 46 පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ මීටර 67.79ක දුරක් විසිකරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීය.

සිය වාර්තාගත ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘මගෙ ප්‍රධාන ඉලක්කය වුනේ ලෝක වාර්තාවක් පිහිටුවමින් මගේ රට වෙනුවෙන් රන් පදක්කමක් දිනාදීම. ඒ වෙනුවෙන් වසර ගණනාවක් කැපකීරීම් සිදුකළා. එය මේ ආකාරයෙන් යථාර්ථයක් බවට පත්වීම ගැන පුදුමාකාරයේ සතුටක් දැනෙනවා. මගෙ රට වෙනුවෙන් සේවය කරමින් සිටින අතරතුර 2008 වසරේදී තුවාල ලබා වසර 4ක කාලයක් පුනරුත්ථාපනය වීමෙන් පසුව 2012 වසරේදියි මම හෙල්ල විසිකිරීම ඇරඹුවේ. මගේ පවුලේ උදවිය, මගේ කණ්ඩායම මෙන්ම ජයග්‍රහණය කරා පැමිණි මේ ගමනේදී මා හට උපකාර කළ සියළු දෙනාටම මේ මොහො‍තේදී මගේ ස්තුතිය පිරිනැමීමට කැමතියි’ යනුවෙන් දිනේෂ් ප්‍රියන්ත හේරත් පැවසුවේය.

මෙම සුවිශේෂී අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ‍’දිනේෂ් විසින් මෙම ඓතිහාසික රන් පදක්කම දිනාගෙන, එම පරිශ්‍රයේ ශ්‍රී ලංකාවේ ජාතික ගීය වාදනය වූ අවස්ථාව අප ජාතියේ අනභිබවනීය මොහොතක් බවට පත්වුනා. ඔහුගේ ජයග්‍රහණය ගැන අපි අතිශයින් ආඩම්බරයට පත්වෙනවා. මෙම ක්‍රීඩකයන්ව ජගත් මට්ටමේ වේදිකාවක ජයග්‍රහණ ලැබීම දක්වා ඔසවා තැබීම පිණිස වන වැඩසටහනේදී කරනු ලබන සුවිශේෂී කැපවීම සහ දෙනු ලබන දායකත්වය සම්බන්ධයෙන්, ජාතික පැරාලිම්පික් කමිටුවට මගේ කෘතඥතාව පිරිනමනවා. තරුණ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික ක්‍රීඩා කවුන්සිලයේ ඉහළ කාර්යසාධන වැඩසටහන සහ පැරාලිම්පික් කමිටුව එකතුවෙන් ශ්‍රී ලංකාවේ අනෙකුත් ක්‍රීඩා සංගම් වලට අලුත් ඉලක්කයක් ලබාදීමට හැකිවුනා. එසේම, ජාතික පැරාලිම්පික් කණ්ඩායමට දශක දෙකකට වැඩි කාලයක් මුළුල්ලේ නිබදවම සිය සහය ලබාදෙමින්, ක්‍රීඩාව සවිබලගැන්වීම තුළින් ජීවිත තුළ සැබවින්ම කොපමණ පරිවර්ථනයක් ඇතිකළ හැකිද යන්න අප සැමට පෙන්වාදීම වෙනුවෙන් ඩයලොග් ආසිආටා සමාගමටත් මාගේ ස්තුතිය පිරිනමනවා’ යැයි පවසා සිටියි.

ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුවේ සභාපති කර්නල් දීපාල් හේරත් මෙම සුවිශේෂී ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය අදහස් දැක්වූ අතර ‘දිනේෂ් හේරත් විසින් ඉකුත් වසර කිහිපයක කාලයක් මුළුල්ලේ අඛණ්ඩව ශ්‍රී ලංකාවට දිනාදුන් මෙම ගෞරවයන් සම්බන්ධයෙන් මෙන්ම 2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී සිය හොඳම විසිකිරීම සිදුකළ සමිත කොඩිතුවක්කුත් දැක්වූ මෙම දක්ෂතාවන් සම්බන්ධයෙන් අපි අතිශයින් ආඩම්භරයට පත්වනවා. මෙය කණ්ඩායමක් ලෙස එකාවන්ව කැපවීමෙන් ඕනෑම දැවැන්ත ඉලක්කයක් ජයගත හැකි බවට සාක්ෂියක්. අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන විශ්වාසය තබමින් වසර ගණනාවක් පුරා ඔවුන්ගේ මෙම අසමසම දක්ෂතාවන් සවිබලගන්වමින් 2000 වසරේ සිට නිබඳවම අප සමග රැදී සිටින ඩයලොග් ආයතනයට අපි අපේ අප්‍රමාන ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා’ යැකි පවසන ලදි.

මෙම පැරාලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී මේජර් ජෙනරාල් ජේ.ආර් අම්පෙමොහොට්ටි අදහස් දක්වමින් ‘ශ්‍රී ලංකා පැරාලිම්පික් ක්‍රීඩකයන් ඉතා ප්‍රසංශනීය ලෙස දක්ෂතා දක්වමින් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී පිට පිටම පදක්කම් දිනාගනිමින් තම රට වෙනුවෙන් ගෞරව ගෙනදුන්නා. කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ පැනනැගුණු අභියෝග මධ්‍යයේ වුවද, පදක්කම් පීඨිකාව මතට නැගීමට හැකිවන සේ අප කණ්ඩායම බොහොම වෙහෙස මහන්සි වී කටයුතු කළා. අපි ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් අතිශයින් ආඩම්භරයට පත්වෙනවා’ යැයි පවසන ලදි.

මෙරට ක්‍රීඩාවේ මෙම සන්ධිශ්ඨානය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ ‘ දිනේෂ් සහ සමිත විසින් දිනාගත් මෙම ඓතිහාසික ජයග්‍රහණය තුළින් කැපවීම, නොපසුබට උත්සහය සහ විනය තුළින් මොන තරම් දෙයක් කළ හැකිද යන්න පිළිබඳව සියළු ශ්‍රී ලාංකිකයන් හමුවේ ඔප්පු කර දක්වා තිබෙනවා. එසේම ජාතික පැරාලිම්පික් කමිටුව සහ යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල සමග ඉකුත් දශක දෙකක කාලයක් මුළුල්ලේ පැමිණි මේ ඓතිහාසික ගමනේ කොටස්කරුවෙක් වීමට හැකිවීම පිළිබඳව ඩයලොග් ආසිආටා සමාගම ආඩම්බර වෙනවා. එසේම රටේ ක්‍රීඩාව සමග සමීප සබඳතාවක් ඇති මෙරට ප්‍රමුඛතම සමාගමක් ලෙසින්, සිය දක්ෂතාවල හිනිපෙත්තට ළඟාවෙමින් අප මව්බිමට ගෞරව රැගෙන එන මොහොත දක්වා හෙට දිනයේ ශූරයන්ව අප තවදුරටත් බලගන්වන්න කටයුතු කරනවා ’ යනුවෙන් පැවසීය.

ඩයලොග් ආසිආටා ක්‍රිකට්, රග්බි, වොලිබෝල් හා දැල්පන්දු ජාතික කණ්ඩායම්වල සාඩම්භර අනුග්‍රාහකයා ලෙසින් කටයුතු කරයි. එමෙන්ම ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය, ජාතික ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ දැල්පන්දු ශූරතා තරගාවලිය, රග්බි සමාජ, පාසල් රග්බි, ප්‍රමුඛපෙල පාපාන්දු, පාසල් ක්‍රිකට්, කනිෂ්ඨ වොලිබෝල් හා පැරාඔලිම්පික් ක්‍රීඩා සමඟද ඉතා සමීපව කටයුතු කරන ඩයලොග් සමාගම යුධ හමුදා පැරා ක්‍රීඩා උළෙල, ජාතික පැරා ක්‍රීඩා උළෙල හා ලෝක පැරාලිම්පික් ක්‍රීඩා සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බලගැන්වීමද සිදුකරයි.