Body

ජාතික දැල් පන්දු ක්‍රීඩාවට  ඩයලොග් සවිය තවදුරටත්

2022 අගොස්තු 26         කොළඹදී

 

Dialog Extends Support for National Netball

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ අලෙවි ප්‍රධානී අශානි සේනාරත්න මහත්මිය විසින් ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනයේ සභාපති ලක්ෂ්මී වික්ටෝරියා මහත්මියට අනුග්‍රාහකත්ව චෙක්පත නිල වශයෙන් පිරිනැමූ අවස්ථාව.
ඡායාරූපයේ වමේ සිට දකුණට: ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනයේ ලේකම් වින්දනා දයාරත්න මහත්මිය සහ ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනයේ භාණ්ඩාගාරික පද්මිණී හොරණගේ මහත්මිය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ජාතික ක්‍රීඩාවන් වෙනුවෙන් සිය ආයතනික කැපවීම තවදුරටත් තහවුරු කරමින්, ජාතික දැල්පන්දු සම්මේලනය වෙත ලබාදෙන සිය අනුග්‍රාහකත්වය 2024 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන ලදී.

දැල් පන්දු යනු මෙරට වඩාත් ප්‍රචලිත ක්‍රීඩාවක් වන අතර එහිදී පාසල් මට්ටමෙන්, ක්‍රීඩා සමාජ මට්ටමෙන් සහ ජාතික මට්ටමෙන් ක්‍රීඩිකාවන් රැසක් සක්‍රියව ක්‍රීඩා කරති. ජාතික දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතාවලියේදී අඛණ්ඩව කැපී පෙනෙන දස්කම් දක්වා තිබෙන අතර වත්මන් ආසියානු ශූරයන්  වන්නේද ශ්‍රී ලංකාවයි. වර්ෂ 2018 දී පළමු වරට ජාතික දැල් පන්දු සම්මේලනයට සිය සහයෝගය ලබාදුන් ඩය‍ලොග්, එතැන් පටන් ඉකුත් වසර ගණනාව පුරා සිය දායතත්වය පෙරට රැගෙන යමින් දැල් පන්දු ක්‍රීඩාව නැංවීමට සහ හෙට දිනයේ ශූරියන් බිහිකිරීම වෙනුවෙන් ජාතික කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ ශූරතාවන්ට ද අනුග්‍රහය දක්වන ලදී.

“පසුගිය වසර කිහිපයේදී කොවිඩ්-19 හේතුවෙන් මුහුණදීමට සිදුවූ අභියෝග මධ්‍යයේ වුව අප අපගේ ජාතික ජ්‍යේෂ්ඨ ශූරතාව අඛණ්ඩව පැවැත්වීමට සමත්වුණා. අප අනුග්‍රාහක ඩයලොග් ආසිආටා නොවන්නට එවැන්නක් කිරීමේ හැකියාව අපට හිමිවන්නේ නෑ. ශ්‍රී ලංකාවේ දැල් පන්දු ක්‍රීඩාවට තවදුරටත් සිය සහය දැක්වීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ඩයලොග් ආසිආ‍ටා සමාගමට මගේ ස්තුතිය පිරිනැමෙනවා.” යි ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනයේ සභාපති ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය පැවසුවාය.

“ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව පොහොසත් කිරීමට සහ හෙට දවසේ ශූරයන් බිහිකිරීමට සහයෝගය දක්වමින්, ජාතික දැල්පන්දු සම්මේලනය සමග අපගේ හවුල්කාරීත්වය පෙරට රැගෙන යෑමට හැකිවීම ගැන අපි සතුටට පත්වෙනවා. ජාතික දැල් පන්දු කණ්ඩායම මේ තාක් ආසියානු කලාපයේ අඛණ්ඩ දස්කම් දැක්වීමට සමත්ව සිටිනවා. එසේම මෙම ජයග්‍රාහී රිද්මය ඔවුන් සෙසු ජාත්‍යන්තර තරගාවලීන්හීද පවත්වාගනු ඇති බව මට විශ්වාසයි.” යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ අලෙවි ප්‍රධානී අශානි සේනාරත්න මහත්මිය පැවසුවාය.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, වොලිබෝල් සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව පාසල් රග්බි,පාපන්දු තරගාවලි සහ යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය මෙන්ම ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.