කෘෂි නවෝත්පාදන හරහා රට සරුසාර කිරීමට ඩයලොග් 'ගොවි මිතුරු' සහ රුහුණු විශ්වවිද්‍යාලය එක්වෙයි
2026 සැප්තැම්බර් 22 කොළඹ
2026 කෘෂිකර්ම හා පරිසරය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ Govi Mithuru AI ප්‍රදර්ශන කුටියේදී, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ගරු කේ. ඩී. ලාල්කාන්ත මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සහ රුහුණු විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිස සමඟ ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
වමේ සිට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී අසංග ප්‍රියදර්ශන මහතා; රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී. ඒ. ජයන්ත මහතා; රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජී. වයි. ජයසිංහ මහතා, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ගරු කේ. ඩී. ලාල්කාන්ත මහතා; විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. එල්. වසන්ත කුමාර මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා, සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විශ්ලේෂණ හා AI තාක්ෂණ නිලධාරී ආචාර්ය රොමේෂ් රණවන මහතා.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, කෘෂි පර්යේෂණ සහ නවෝත්පාදන හරහා ශ්‍රී ලංකාව සරුසාර කිරීමේ අරමුණෙන්, රුහුණු විශ්වවිද්‍යාලය සහ Chakra Labs සමඟින් අත්වැල් බැඳගෙන තිබේ. ඩයලොග් හි පුරෝගාමී ‘ගොවි මිතුරු’ platform එක ඔස්සේ, කෘෂි පර්යේෂණ හා නවෝත්පාදන සඳහා මඟපාදන මෙම සුවිශේෂී සහයෝගිතාවය මඟින්, ශාස්ත්‍රීය විශිෂ්ටත්වය, නවතම ඩිජිටල් තාක්ෂණය සහ විශේෂඥතා දැනුම ඒකාබද්ධ කර, ශ්‍රී ලාංකීය කෘෂි ක්ෂේත්‍රයේ අභියෝග ජයගැනීම උදෙසා ඉවහල් වන ප්‍රායෝගික විසඳුම් ලබාදීම අපේක්ෂාවයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේද අනුමැතියෙන් 2015 වසරේ ඇරඹුණු, 'ගොවි මිතුරු' සේවාව 2025 වසරේදී නවතම AI තාක්ෂණයෙන් සවිමත්ව, AI තාක්ෂණයෙන් බලගැන්වුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම, ත්‍රෛභාෂා කෘෂි උපදේශන සේවාව බවට පත් විණි. සරුසාර වගාවකට සහය අවැසි පිරිසට, Govi Mithuru app එකෙන්, 616 ඇමතීමෙන් හෝ govimithuru.lk වෙබ් අඩවිය ඔස්සේ, ඕනෑම තැනක සිට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම, මෙම සේවාව ලබාගත හැක. මේ හරහා වගාවේ නිරත පිරිසට උපදෙස්, කාලගුණ අනාවැකි, වෙළෙඳ පොළ තොරතුරු, AI chat හා voice සහය සමඟින්, පළිබෝධ හා රෝග හඳුනාගැනීමේ පහසුකම් මෙන්ම, කෘෂි ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමද ගොවීන්ට ලබාදේ.
මීට සමගාමීව, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, රුහුණු විශ්වවිද්‍යාලය, Chakra Labs සහ Shibaura Institute of Technology අත්වැල් බැඳගනිමින්, ‘ගොවි මිතුරු’ platform එක පදනම් කරගනිමින් AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන අතිනවීන කෘෂි කාර්මික රොබෝවරයකුද නිර්මාණය කරන ලදී. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති, 2026 කෘෂිකර්ම හා පරිසරය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී (ISAE 2026) එළිදක්වන ලද එම රොබෝ, කිසිදු මඟපෙන්වීමකින් තොරව වගාබිම් තුළ ඇවිද, බෝග තත්ත්වය නිරීක්ෂණය කිරීම, AI තාක්ෂණය මඟින් රෝග හා පළිබෝධ සහ වර්ධන ඌනතා නිවැරදිව හඳුනාගැනීම මෙන්ම හානි වූ බෝග සඳහා පමණක් පිළියම් යෙදීමේ හැකියාව ඇති ස්වයංක්‍රීය රොබෝවරයෙකි.
දිස්ත්‍රික්ක 25 ම ආවරණය කරමින් ආවරණ කලාප 1,000 කට අධික සංඛ්‍යාවක් පුරා විහිදුණු, අධිවේගී Dialog 5G Ultra ජාලයෙන් මෙම නවතම විසඳුම බලගැන්වේ. ඒ අනුව, වගාබිම්වල සජීවී දර්ශන ලබාගනිමින්, බෝගවල සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තා සජීවීව ලබාදෙමින්, දුරස්ථව වගාවන් නිරීක්ෂණය කිරීමටත්, දත්ත මත පදනම් වූ කෘෂිකාර්මික පිළිවෙත් කරා ගොවීන් යොමු කිරීමටත් එමඟින් අවස්ථාව සැලසේ.
රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය විසින් සංවිධානය කළ, “දත්ත පදනම් කරගත් හරිත කෘෂිකාර්මික සංක්‍රාන්තිය: සරුසාර පසකින්, නිරෝගී ජනතාවක් කරා” මැයෙන් වූ කාලීන තේමාව යටතේ, දෙස් විදෙස් විද්වතුන්ගේ සාකච්ඡාද ඇතුළත්ව, ISAE 2026 සම්මන්ත්‍රණයද පැවැත්වුණු අතර, මෙරට කෘෂි අනාගතය වෙනස් කරන නව ප්‍රවණතා සහ අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමට එය කදිම තෝතැන්නක් විණි.
කෘෂි කාර්මික, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ගරු කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සමුළුව තුළින් තහවුරු වුණේ, ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා නවතම තාක්ෂණය සතු කාර්යභාරය සුවිශාල බවයි. Govi Mithuru සේවාවේ ඉදිරි ගමන තවත් ශක්තිමත් කරන මෙම සහයෝගිතාවය හරහා දැනුම පදනම් කරගත් කෘෂිකාර්මික විසඳුම් ලබා දීමට කටයුතු කරන ඩයලොග් ආයතනය, ඒ සඳහා ඉවහල් වන AI තාක්ෂණය සමඟින් ජාල සම්බන්ධතාවද තවදුරටත් පුළුල් කරයි.
මෙම සුවිශේෂී හවුල්කාරිත්වය පිළිබඳව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.ඒ. ජයන්ත මහතා මෙලෙස සඳහන් කළේය. “පර්යේෂණ සහ ශාස්ත්‍රීය දැනුම සැබෑ ලෝකයේ කෘෂිකාර්මික ගැටලු විසඳිය හැකි ප්‍රායෝගික මෙවලම් බවට පරිවර්තනය කිරීමට මෙම සහයෝගිතාව කදිම අවස්ථාවක්. විශ්වවිද්‍යාලයේ පර්යේෂණ පසුබිම ඩයලොග් හි තාක්ෂණික ශක්තිය සමඟ එක්කිරීමෙන්, රටේ කෘෂි කාර්මික අනාගතයට අධ්‍යාපනික දායකත්වය සලසමින්, නවෝත්පාදන අවස්ථා නිර්මාණය කිරීමට අපට හැකි වෙනවා." යනුවෙනි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙලසෙ සඳහන් කළේය. “ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය මුහුණපාන මූලික අභියෝග ජයගැනීමේදී තාක්ෂණයට කළ හැකි පෙරළිය අතිමහත්. රුහුණු විශ්වවිද්‍යාලය සමඟ අත්වැල් බැඳගනිමින් අප මෙහිදී සිදු කරන්නේ සම්බන්ධතාවය, AI තාක්ෂණය සහ ශාස්ත්‍රීය ප්‍රවීණතාව කැටි කරමින් වගා ඵලදායිතාව සහ තිරසාරභාවය ඉහළ නංවන ප්‍රායෝගික විසඳුම් නිර්මාණය කිරීමයි. ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ජීවිතය තාක්ෂණයෙන් ඔපවත් කරමින්, රටේ අනාගත ඩිජිටල් දැක්මට අර්ථවත් දායකත්වයක් ලබාදීමට අප නිරන්තරයෙන්ම කැපවී සිටිනවා.”