பொருள் விரிவாக்கம்

Dialog’s Innovation Challenge වැඩසටහනේ අවසන් වටයට ඇතුළත් වන පළමු දීප්තිමත් ඩිජිටල් නවෝත්පාදකයින් පස් දෙනා තෝරාගනියි

2024 අගෝස්තු 02        කොළඹ

 

Digital Innovation Fund (DIF), Managed By BOV Capital And Powered
                      By Dialog Axiata PLC

ඡායාරූපය - අවසන් වටයට ‌තේරුණු දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින් පස්දෙනා ඡායාරූපයේ ඉහළින්- SeaLanka, BODO, මැද -SmartAqua, පහත පෙළ – FlashGuard, AudiPhix

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරටට බලපාන ගැටලු සඳහා සාර්ථක ඩිජිටල් විසඳුම් පිරිනමමින්, ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයක් කරා මෙහෙයවීමට ඇති කැපවීම විදහා දක්වන Dialog Innovation Challenge වැඩසටහනේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබන දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින් දසදෙනාගෙන්, පළමු පස් දෙනා තෝරා අවසන් බව සතුටින් දැනුම් දෙයි.

වැඩසටහනට ඉදිරිපත් වුණු ඩිජිටල් නවෝත්පාදන අතරෙන් අවසන් වටය සඳහා තෝරාගනු ලැබූ ඔවුන්ගේ ඩිජිටල් නවෝත්පාදන, Dialog Innovation Challenge ඉකුත් වැඩසටහන්වලින් කැපී පෙනුණු සාර්ථකම නවෝත්පාදන වේ. අවසන් වටය සඳහා ඇතුළත් එම ඩිජිටල් නවෝත්පාදන ලෙසින්, ධීවර කලාප පිළිබඳ කල්තියා දැනගත හැකි AI තාක්ෂණයෙන් බලගැන්වූ SeaLanka app එක, නවාතැන් වෙන්කිරීම් හා කළමනාකරණ සම්බන්ධ ක්‍රමවේදයක් වන BODO, ස්නායුගත ශ්‍රවණාබාධයක් වන CAPD සඳහා සාර්ථක ඩිජිටල් විසඳුමක් ලෙසින් AudiPhix app එක මෙන්ම, රූප සංවේදී අපස්මාර රෝග තත්ත්වයෙන් පීඩා විඳින්නන් සඳහා විසඳුමක් වන FlashGuard ස්මාර්ට් කණ්ණාඩි හා ඉස්සන් වගාකරුවන් සඳහා IoT පාදක කරගත් ඩිජිටල් විසඳුමක් වන Smart Aquaද මේ වැඩසටහනේ නොමඳ අවධානය දිනාගත් නවෝත්පාදන විණි. ශ්‍රී ලාංකික පුද්ගලයින්, ව්‍යාපාර හා ප්‍රජාව මුහුණ දෙන ගැටලුවලට සාර්ථක විසඳුම් ඉදිරිපත් කිරීමේ හැකියාවෙන් යුත් මෙම විසඳුම් සමගින් අවසන් වටයට තේරුණු මේ දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින් පස්දෙනාට දැන් සිය නවෝත්පාදන, වඩාත් ඵලදායී ඩිජිටල් නවෝත්පාදන බවට පත් කිරීමට ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ උපදෙස් හා මග පෙන්වීම් හිමි වේ.

ශ්‍රී ලංකාව පරිවර්තනීය ඩිජිටල් අනාගතයක් කරා මෙහෙයවීමේ දැක්මෙන් යුතුව, Dialog Innovation Challenge 2023 වසරේ සැප්තැම්බර් මාසයේ මුල්වරට දියත් කරනු ලැබිණි. ඒ සඳහා විවිධ ඩිජිටල් සංකල්ප හා විසඳුම් සමගින් දිවයින පුරාම විසිරී සිටින නවෝත්පාදකයින්‌ගෙන් අයදුම්පත් 1200 කට අධික ප්‍රමාණයක් ලැබී තිබූ අතර, ඒවායෙන්, මෙරට පුද්ගලයින්, ව්‍යාපාර හා ප්‍රජාව මුහුණ දෙන අභියෝග සඳහා ඵලදායි ඩිජිටල් විසඳුම් ලෙසින් වැඩිදියුණු කළ හැකි, නවෝත්පාදන සංකල්ප සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් නවෝත්පාදකයින් තෝරාගැණිනි. සමාජයේ දැවෙන ගැටලු සඳහා ඩිජිටල් විසඳුම් ඉදිරිපත් කිරීමට ඇති හැකියාවද, එමගින් ඩිජිටල් පරිවර්තනයක් සඳහා කළ හැකි පුළුල් බලපෑමද, තාක්ෂණික වශයෙන් ඒ සඳහා වන සූදානමද මෙම වැඩසටහන සඳහා නවෝත්පාදකයින් තෝරාගැනීමේදී විනිශ්චය මණ්ඩලය විසින් මූලිකව සලකා බැලූ කාරණා වේ. ශ්‍රී ලංකාවේ දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින් තෝරා ගන්නා විනිශ්චය මණ්ඩලය, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ විධායක උප සභාපති සහ සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී ආචාර්ය රමේෂ් ෂන්මුගනාදන්, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ශෂී කණ්ඩම්බි, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සභාපතිනි ෂෙරින් කාදර්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනී සහ ඩයලොග් ෆිනෑන්ස් හි සභාපතිනි රේණුකා ප්‍රනාන්දු, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී අසේල පෙරේරා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී රංග කාරියවසම් සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ICT සහ Platforms Business හි ප්‍රධානී විරංග සෙනෙවිරත්න යන පිරිසෙන් සමන්විතය.

මෙම ඩිජිටල් නවෝත්පාදන අභියෝගය මගින්, ඩයලොග් හා අත්වැල් බැඳ ගත් ආයතන විසින් ‍පවත්වනු ලබන වැඩමුළුවලින් මහඟු ප්‍රතිඵල අත්කර ගැනීමට, දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින් දසදෙනා සඳහා අවස්ථාව සැලසෙන අතර, අවසන් වටයට තේරුණු මෙම ජයග්‍රාහකයින් පස්දෙනාද, ඉදිරි තරග වට අතරෙන් අවසන් වටයට තේරෙන පස්දෙනාද එම වැඩමුළු සඳහා සුදුසුකම් ලබති. එම නවෝත්පාදකයින් සඳහා වැඩමුළු පැවැත්වීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ ආයතනය (IESL), ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම (SLIC), ජාතික නවෝත්පාදන නියෝජිතායතනය (NIA), ලංකා වාණිජ මණ්ඩලය (CCC), ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM), ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) හා ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සංගමය (DMASL) එක්වන අතර, එම ආයතන ලබාදෙන අත්‍යවශ්‍ය දැනුමෙන් අවසන් වටයේ දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින් දසදෙනා සන්නද්ධ කෙරේ. මෙම වැඩසටහන රූපවාහිනියෙන් විකාශය කෙරෙන්නේද, දීප්තිමත්ම ඩිජිටල් නවොත්පාදකයින්ගේ ඩිජිටල් විසඳුම් නිවැරදිව සකස් කරගැනීමට ඉවහල් වන විනිශ්චය මණ්ඩලයේ අදහස් දැක්වීම්ද සමගිනි. සිය නවෝත්පාදන වැඩි දියුණු කිරීමට, දැනුම හා මාර්ගෝපදේශ සැපයෙන වැඩසටහනෙහි, අවසන් වටය සඳහා තේරෙන දීප්තිමත්ම නවෝත්පාදකයින්ට රු. මිලියන 5 ක තෑගි සංචිතය විවෘත අතර, ඔවුන් වෙත DIF (ඩිජිටල් නවෝත්පාදන අරමුදල) මගින් ආයෝජන සහයද පිරිනැමේ. එපමණක් නොව, ඔවුන්ට ඩයලොග් නවෝත්පාදන පාරිසරික පද්ධතිය හා එක් වීමේ මාහැඟි අවස්ථාවද උදා වේ.

තාක්ෂණික වැඩිදියුණු කිරීම් හා නවෝත්පාදන සඳහා මෙලෙස සුවිශාල සහයක් පිරිනමමින්, ශ්‍රි ලංකාව ඩිජිටල් අනාගතයක් කරා රැගෙන යාමේ ඩයලොග් කැපවීම විදහා දක්වන, Dialog Innovation Challenge වැඩසටහන, සෑම සෙනසුරාදාවකම රාත්‍රී 10:30 ට TV Derana ඔස්සේ සහ සෑම ඉරිදාවකම සවස 6:30 ට Dialog TV චැනල් One ඔස්සේ නැරඹීමෙන්, ශ්‍රී ලංකාවේ දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින්ගේ දස්කම් දැකගත හැකිය. වැඩි විස්තර සඳහා https://ic.dialog.lk/ වෙත පිවිසෙන්න.