Body

විදුසර Magicbit IoT Challenge’ සඳහා ඉදිරිපත් වූ යොවුන් නවෝත්පාදකයින් ඩයලොග් ආසිආටා සමාගමේ ඇගයීමට ලක්වෙයි

2023 ජූනි 07         කොළඹදී

 

Innovative IoT Solution to Nurture Local Rubber Plantations

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් බලගන්වන ලද ‘විදුසර Magicbit IoT Challenge Powered By Dialog’ තරගයේ ජයග්‍රාහකයන් සහ ඒ සඳහා සහභාගී වූ යොවුන් නවෝත්පාදකයන්ව ඩයලොග් ප්‍රධාන ආයතන පරිශ්‍රයේදී පසුගියදා ඇගයීමට ලක් කරන ලදී. අති නවීනතම තාක්ෂණයෙන් බලගැන්වුණු අනාගත ලෝකයට උචිත තාක්ෂණික දැනුමෙන් සහ නිපුණතාවයන්ගෙන් යොවුන් පරපුර බලගැන්වීම මෙම තරගය සංවිධාන කිරීමේ මූලික අරමුණ විය.

2023 වර්ෂය ආරම්භයේදීම STEM education අධ්‍යාපන මාධ්‍යක් වන Magicbit, විදුසර පුවත්පත සහ ඩයලොග් සමාගම යන පාර්ශවයන් ත්‍රිත්වය එක්ව වයස අවුරුදු 8 ත් 18 ත් අතර දරුවන්ගේ නවෝත්පාදන සංකල්ප හා හැකියාවන් ඉදිරිපත් කිරීම සඳහා විශේෂ තරගයක් සංවිධාන කරන ලදී. මෙවර තරගයට සහභාගී වූ සියලුම දූ දරුවන්ට මුල සිට IoT Application එකක් සකසමින් එය වැඩි දියුණු කරගැනීමට අදාළ දැනුම ලබාදීම සඳහා විශේෂ වැඩමුළුවක් පැවත්විණි.ජයග්‍රාහකයන්ට සහ තරගයට සහභාගීවූවන්ට Magicbit සහ කැන්ඩොස් චොක්ලට්ස් අනුග්‍රහයෙන් ත්‍යාග පිරිනැමිණි.මෙහිදී තරගයේ ජයග්‍රාහකයන්ට සම්මාන ප්‍රදානය අතරතුර, තම ජයග්‍රාහී නිර්මාණ ඉදිරිපත් කරමින් ඒවා ප්‍රදර්ශනය කිරීමට සුවිශේෂී අවස්ථාවක් ද හිමිවිය.

‘විදුසර Magicbit IoT Challenge Powered By Dialog’ තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීල්සී හි සමූහ ප්‍රධාන විශ්ලේෂණ සහ AI නිලධාරී ආචාර්ය රොමේෂ් රණවණ “අපේ නූතන පරපුරේ සිසු දරු දැරියන්ට අනාගතය අද දවසේ ජයගන්නට වටිනා අවස්ථාවක් සලසාදීම වෙනුවෙන් Magicbit සහ විදුසර පුවත්පත සමඟ එක්ව කටයුතු කරන්න අවස්ථාවක් හිමිවීම පිළිබඳව අපි අතිශයින්ම සතුටු වෙනවා. තරගයට ඉදිරිපත් වූ යොවුන් නවෝත්පාදකයන්ගේ සංකල්ප හා ඔවුන් පෙන්වූ තාක්ෂණික හැකියාවන් මෙන්ම අපට ඉදිරිපත් කළ නවෝත්පාදන සියැසින් දැකබලා ගන්න ලැබුණු අවස්ථාව ඉතාමත්ම ආස්වාදනීයයි. ‘විදුසර Magicbit IoT Challenge Powered By Dialog’ වැනි තරග දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය හා සංවර්ධනය ඉහළ නැංවීමට පිටිවහලක් වන්නා සේම, විප්ලවීය සොයාගැනීම් සිදුකරන ගවේෂණයක යෙදෙන්නටත් ඔවුන් තුළ උද්‍යෝගයක් ඇති කරන්නත් ඉවහල් වෙනවා.”

“අපි සිටින්නේ තාක්ෂණික විප්ලවයක් අභියසයි.”විදුසර පුවත්පතේ ප්‍රධාන කර්තෘ සුනන්ද කරුණාකරත්න මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා,“මේ හරහා අපි හිතන පතන ආකාරයේ, අපි එකිනෙකා සමඟ සන්නිවේදනය කරන ආකාරයේ, මේ සමාජය තුළ අපි ජීවත් වන ආකාරය කෙරෙහි වගේම ප්‍රධාන වශයෙන්ම මේ තුළින් අපේ ජීවන තත්වය කෙරෙහි විශාල වෙනසක් ඇති කරාවි. තාක්ෂණික විප්ලවයෙන් උපරිම ප්‍රතිඵල අත්කරගැනීම සඳහා අපේ අනාගත පරපුර සූදානම් කිරීමේ වගකීම අප සතුයි. මෙවැනි තරගයක් සංවිධාන කරමින් යොවුන් නවෝත්පාදකයන් අගයන්නට Magicbit සහ ඩයලොග් සමාගම සමඟ එක්ව කටයුතු කරන්නට ලැබීම අපට ඉමහත් සතුටක්. අදත්, හෙටත්, මතුවටත් අපේ ඉදිරි පරම්පරාවන්ට ප්‍රතිලාභ රැසක් අත්වන අත්කරදෙන කදිම ආයෝජනයක් විදියටයි මම මේ තරගය දකින්නේ.”

Magicbit (Pvt) Ltd හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හා සම නිර්මාතෘ මිගාර අමිතෝදාන මහතා මෙසේ සඳහන් කළේය. “නූතන පරම්පරාවට ගැළපෙන නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමේ කාර්යයේ නියැළෙන අප සමාගම එම අරමුණ පෙරදැරි කරගනිමින් මෙම තරගය සංවිධාන කිරීමට ඩයලොග් සහ විදුසර පුවත්පත සමඟ දැඩි උද්‍යෝගයෙන් එක්වුණා. මෙම තරගය සඳහා සිසුන් ඉදිරිපත් කළ අති නවීනතම තාක්ෂණයෙන් බලගැන්වුණු නවෝත්පාදන දැක අපි විස්මයටත්, සතුටටත් පත්වුණා.මේ හා සමාන තවත් වැඩසටහන් ක්‍රියාවට නැංවීම හරහා ලෝකය වෙනස් කරමින් එය සුවිශේෂී පරිවර්තනයක් කරා ගෙන යන අනාගත නවෝත්පාදකයන් වීමට ශ්‍රී ලාංකේය දරු දැරියන්ට උපකාරයක් විය හැකි වැඩපිළිවෙලකට අපට ආරම්භයක් ලබාදීමට හැකිවනු ඇති.”

Magicbit STEM Kits පිළිබඳ වැඩි විස්තර සඳහා https://www.dialog.lk/stemkit-accessories වෙත පිවිසෙන්න.