Body

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම Genie සහ eZ Cash හරහා රක‍ෂණ වාරික ගෙවීම සඳහා පහසුකම් සලසයි

2019 ජුනි 28         කොළඹ

 

news-1

(වමේ සිට දකුණට) SLIC හි ප්‍රධාන තොරතුරු නිලධාරී ආලෝක ජයවර්ධන, SLIC හි ප්‍රධාන විධායක නිලධාරී, චන්දන එල්. අලුත්ගම, SLIC හි කළමනාකාර අධ්‍යක්ෂ දුෂ්‍යන්ත බී. බස්නායක, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩිජිටල් සේවා ප්‍රධානී ආචාර්ය නුෂාඩ් පෙරේරා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි වෙළඳ කටයුතු හා විකුණුම් අංශයේ ප්‍රධාන කළමනාකරු උදය ජයසුන්දර, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ෆින්ටෙක් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී ගිමාලි සොයිසා, සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජංගම මුදල් පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකරු පද්මනාත් මුතුකුමාරණ.

ශ්‍රී ලංකාවේ එකම සහ ප්‍රථම PCI-DSS සහතිකය ලත් මොබයිල් ගෙවීම් app එක වන Genie සහ මෙරට ප්‍රථම සහ විශාලතම මොබයිල් මුදල් හා ගෙවීම් සේවාව වන eZ Cash ගෙන එන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ශ්‍රී ලංකාවේ රක‍ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) සමඟ අත්වැල් බැඳගනු ලබයි. මෙම සබඳතාව මගින් රක‍ෂණ හිමියන් වෙත තත්කාලීන ආරක්ෂිත හා පහසුවෙන් වාරික ගෙවීමේ ක්‍රමවේදයක් ලබාදීමට අපේක්ෂිතයි.

SLIC රක්ෂණ ඔප්පු හිමියන් වෙත ඔවුන්ගේ රක්ෂණ වාරික ගෙවීම් සිදුකිරීමට පහසුවෙන් භාවිතා කළ හැකි ක්‍රමයක් ලබා දීමේ අරමුණෙන්, සුරක්ෂිතව, ඕනෑම SLIC රක්ෂණ ඔප්පුහිමියෙකුට Genie සහ eZ Cash මොබයිල් app හරහා (Google Play Store සහ Apple App Store වෙතින් ඩවුන්ලෝඩ් කරගත හැකියි) සහ genie.lk වෙබ් අඩවිය හරහා හෝ #111# eZ Cash USSD කේතය අමතා ඉක්මණින්, ඩිජිටල් ආකාරයට සහ ඔවුන්ගේ පහසුව අනුව ගෙවීම් කිරීමට මෙම හවුල්කාරිත්වය ඉඩ සලසයි.

සිය අදහස් බෙදා ගනිමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩිජිටල් සේවා ප්‍රධානී ආචාර්ය නුෂාඩ් පෙරේරා මහතා “නවෝත්පාදන හා තාක්ෂණය උපයෝගී කර ගනිමින් ශ්‍රී ලාංකික ජන ජීවිත හා ව්‍යවසායන් සවිබල ගැන්වීමට හා පොහොසත් කිරීමට උත්සාහ කරන සමාගමක් ලෙස, ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක රක්ෂණ ගෙවීම් සිදු කිරීම සඳහා ගනුදෙනුකරුවන්ට මෙම පහසු, ඩිජිටල්කරණය කළ සහ සුරක්ෂිත ගෙවීම් ක්‍රමය හඳුන්වා දීම වෙනුවෙන් SLIC සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා” යි පැවසීය.

SLIC හි ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මහතා මෙසේ පැවසීය. “කාර්යක්ෂමතාව, ඵලදායිතාව සහ වෙළඳපොළ ජය ගැනීම සඳහා නව හා නවොත්පාදන විසඳුම් හඳුන්වා දීමෙන් තාක්ෂණය වැලඳ ගැනීම SLIC හි ප්‍රධාන උපායමාර්ගික පියවරක් වී තිබෙනවා. අපගේ ව්‍යාපාරය ගනුදෙනුකරු වෙත සමීප කරවීම සඳහා වන මෙම උපායමාර්ග මඟින් නියෝජිතයින් ආදී අපගේ ව්‍යාපාරික හවුල්කරුවන් ඇතුළු විවිධ පාර්ශවකරුවන්ට වටිනාකමක් එක් කරනු ඇති අතර නව වර්ධන අවස්ථා ඇතුළු විවිධ ව්‍යාපාරික අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට SLIC වෙත අවකාශ සලසනවා. අද අපි ඩයලොග් ආසිආටා පීඑල්සී සමඟ හවුල්කාරිත්වයකින් ඉදිරියට යනවා. “Genie App” දියත් කිරීමත් සමඟ අපගේ ගනුදෙනුකරුවන්ට විවිධ මාර්ග හරහා පුළුල් ප්‍රවේශයක් ලබා දීමේ අපගේ අරමුණට එය සහායක් වෙනවා. SLIC ගනුදෙනුකරුවන්ට කරදරයකින් තොරව සුරක්ෂිත ගෙවීම් අත්දැකීමක් භුක්ති විඳින අතරම මුදල් රහිත රක්ෂණ වාරික ගෙවීම් කිරීමේ උපරිම පහසුව තුළින් තවදුරටත් ප්‍රතිලාභ ලැබෙනු ඇති."