Body

ශ්‍රී දළදා පෙරහැරට 16 වැනි වරටත් ඩයලොග් අනුග්‍රහය

අගොස්තු 12, 2022         කොළඹදී

 

Sri Dalada Perahera
Sri Dalada Perahera

ශ්‍රී ලාංකේය උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කිරීම පිණිස උරදෙන මෙන්ම ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංස්කෘතිකමය හා ආගමික උත්සව සඳහා දායකත්වය ලබාදෙන දිවයිනේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, කන්ද උඩරට සෙන්කඩගල සිරි දළදා පෙරහැරට මෙවරත් සිය බැතිබර අනුග්‍රාහකත්වය දක්වනු ලැබීය.ඒ අනුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු 02 සිට 12 වෙනිදා දක්වා පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පැරණිතම හා මහත් ගෞරවනීය ආගමික උත්සවයක් වන ශ්‍රී දළදා පෙරහැර ඇසළ හා නිකිණි මාසයේදී  (ජුලි හා අගෝස්තු) පවත්වනුයේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව පළමු ධර්ම දේශනාව පැවැත්වූ කාල වකවානුව ස්මරණය කිරීමක් ලෙසිනි. දින 10ක් පුරා පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහැරෙහි අරමුණ වන්නේ පූජනීය දන්ත ධාතූන් වහන්සේ හා උන්වහන්සේගේ ආරක්ෂාව භාරවන හෙවත් භාරකාර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවතාවුන්වහන්සේ ගෞරවයට පාත්‍ර කිරීම සහ භෝග වගාව සඳහා නිසි කලට වර්ෂාව ලබාගැනීමත් රාජධානියේ සෞභාග්‍යය උදෙසා දේව ආශිර්වාදය අයැද සිටීමත්ය.

යාබද ප්‍රදේශවල සිට මෙන්ම දුර බැහැර ප්‍රදේශ සිටද බොහෝ පිරිසක් පෙරහැර නැරඹීමට පැමිණි අතර ඩයලොග් සමාගම සිය Dialog Television නාලිකාව ඔස්සේ නිවසේ සිටම පෙරහැර දැකබලා ගැනීමේ අවස්ථාව තම හිතවත් පාරිභෝගිකයන් වෙත උදාකර දෙන ලදී.

ශ්‍රී ලාංකීය උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට උරදෙන ඩයලොග් ආසිආටා සමාගම දීර්ඝ කාලයක් මුළුල්ලේ රටේ ප්‍රධාන සංස්කෘතික හා ආගමික උත්සව සඳහා සිය අනුග්‍රහය සපයයි. ශ්‍රී ලාංකේය බෞද්ධ බැතිමතුන්ගේ මුදුන් මල්කඩ වන් වන්දනීය වූ, පූජනීය වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන හෙළයේ අසිරිමත්ම සංස්කෘතික මංගල්‍යය වන, ශ්‍රී දළදා පෙරහැර සඳහා මෙවර ඩයලොග් සමාගම බැතිබර දායකත්වය ලබාදුන්නේ 16 වෙනි වරටයි.