Body

2023 ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලිය ජුනි 14 වැනිදා ඇරඹෙයි

2023 ජූනි 09         (කොළඹදී)

 

 Official Website to Support Inclusive Online Journeys

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ අලෙවි අංශයේ උප සභාපති - සන්නාම හා මාධ්‍ය, හර්ෂ සමරනායක මහතා විසින් 2023 ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියට අදාළ අනුග්‍රාහක චෙක්පත ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති කමල් ආරියසිංහ මහතා වෙත පිරිනැමූ අවස්ථාව. මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා හා කායික අධ්‍යාපන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ උපාලි අමරතුංග මහතාද එක්ව සිටියේය.

ඡායාරූපයේ වමේ සිට දකුණට: ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ භාණ්ඩාගාරික දමිත පෙරේරා මහතා, ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ ලේකම් නිරෝධ විජේරාම මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී/ව්‍යාපාර ප්‍රධානී - මාධ්‍ය හා අන්තර්ගත පුබුදු අලුත්ගෙදර මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අලෙවි මෙහෙයුම් අංශයේ ජ්‍යේෂ්ඨ කළමනාකාර ප්‍රශාන් කොස්තා මහතා.

රග්බි ලෝලීන් පුල පුලා බලා සිටි 2023 ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලිය ජූනි 14 වෙනිදා ප.ව 3.30 ට මහනුවර බෝගම්බර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ. එහි පළමු අදියරේ 'ඒ’ කාණ්ඩයෙන් තරගවදින මරදාන ශා.ජෝසප් විදුහල සහ කටුගස්තොට ශා. අන්තෝනි විදුහල අතර පැවත්වීමට නියමිත තරගයෙන් තරගාවලියේ සමාරම්භය සනිටුහන වන අතර, එහි දෙවැනි තරගය ජුනි 17 වෙනිදා පස්වරු 3.45ට කොළඹ වෙස්ලි විද්‍යාලය සහ ගල්කිස්ස ශා. තෝමස් විදුහල අතර ශා. තෝමස් විදුහල් ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට යෙදී තිබේ.

තරගාවලියට සහභාගී වන විදුහල්වල වත්මන් සිසුන්, ආදී සිසුන්, දෙමාපියන්, ක්‍රීඩාවට දිරිය හා සහාය ලබාදෙන සියලු පාර්ශව, තරගාවලිය වෙනුවෙන් සුබ පැතුම් එක් කරන සැම හා සුවහසක් රග්බි ක්‍රීඩා ලෝලීන්ගේ ආස්වාදය වෙනුවෙන් මෙම තරගාවලිය thepapare.com, Dialog VIU mobile app සහ ඩයලොග් ටී.වී නාලිකා අංක 126 ඔස්සේ සජීවීව විකාශය කිරීමට තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වන ඩයලොග් ආසිආටා සමාගම කටයුතු සූදානම් කර ඇත.

මේ අතර 2023 ඩයලොග් පාසල් රග්බි ලීගය පළමු අදියරේ 'ඒ' කාණ්ඩයේ තරගාවලිය වෙනුවෙන්, ඉකුත් වසරේ තරගාවලියේදී පළමු අදියරේ 'බී' කාණ්ඩයේ සිට උසස්වීම් ලැබූ කොළඹ සහිරා විද්‍යාලය සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය නව කණ්ඩායම් දෙකක් ලෙස ඉකුත් වසරේ කණ්ඩායම් 12 හා එක්වන අතර, 2023 තරගවාරය තරග 42කින් සමන්විත වනු ඇත. අනතුරුව සති 11කට පසුව ඩයලොග් පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය මධ්‍යස්ථ ක්‍රීඩාපිටියකදී පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය කටයුතු සූදානම් කර තිබේ.

2022 ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු අදියරේ 'ඒ' කොටසේ ක්‍රීඩාකරමින් මෙවර තරගාවලියට පිවිසෙන සෙසු පාසල් 12 වනුයේ, කොළඹ ඉසිපතන විදුහල, කොළඹ රාජකීය විදුහල, බම්බලපිටිය ශා. පීතර විදුහල, මරදාන ශා. ජෝසප් විදුහල, කොළඹ වෙස්ලි විද්‍යාලය, ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, ගල්කිස්ස විද්‍යා විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, කටුගස්තොට ශා.අන්තෝනී විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය වේ. මෙයට අමතරව පළමු අදියරේ 'බී' සහ 'සී' කාණ්ඩවලින් තවත් පාසල් 24ක්ද, දෙවැනි අදියර සහ තෙවන අදියර ලෙස තවත් පාසල් 29ක්ද ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ අදාළ කාණ්ඩවල ප්‍රමුඛතම ස්ථාන වෙනුවෙන් තරග වදිනු ඇත.

ශ්‍රී ලංකාවේ අංක එකේ පාසල් රග්බි තරගාවලිය වන ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ, ඉකුත් වසරේ තරගාවලියේදී මෙරට පාසල් රග්බි පිටියේ ඉහළින්ම සිටින කණ්ඩායම්වල කරට කර සටන්වලින් අනතුරුව, රග්බි පිටියේ සිය ආධිපත්‍යය තවදුරටත් පිළිබිඹු කරමින්, ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ මෙන්ම, ඩයලොග් පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේද ශූරයන් බවට පත්වීමට ඉසිපතන විදුහල සමත්විය.

කොළඹ ඉසිපතන විදුහල, බම්බලපිටිය ශා. පීතර විදුහල, මරදාන ශා.ජෝසප් විදුහල, කොළඹ රාජකීය විදුහල, ගල්කිස්ස ශා. තෝමස් විදුහල සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මෙවර තරගාවලියේදී ප්‍රබල පෙළේ තරගකරුවන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“කොවිඩ් 19 වසංගතයෙන් පසුව පාසල් විසින් පූර්ණ තරගවාරයක් ක්‍රීඩාකරන පළමු තරගාවලිය බවට පත්වන මෙවර තරගාවලිය නැරඹීම සඳහා ඉදිරි මාස තුනේදී විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් එක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. පාසල් රග්බි සංගමයට මෙන්ම, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට, විශේෂයෙන්ම මෙවැනි අභියෝගාත්මක ආර්ථික වටපිටාවක් මධ්‍යයේ සහාය දැක්වීමට ඉදිරිපත්වීම වෙනුවෙන් අපේ ප්‍රධාන අනුග්‍රාහාකයා වන ඩයලොග් ආසිආටා සමාගමට මම ස්තුතිවන්ත වෙනවා.”ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති කමල් ආරියසිංහ මහතා පැවසීය.

“ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් උනන්දුවක් දක්වන තරගාවලි අතරින් එකක් ලෙස පාසල් රග්බි හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයට මෙවර පූර්ණ පාසල් ලීග් රග්බි තරගවාරයක් සංවිධාන කිරීමට හැකිවීම පිළිබඳව අපේ සතුට පළ කරන අතරම, මෙය ක්‍රීඩාවේ වර්තමානයටත්, අනාගතයටත් සුවිශාල ප්‍රබෝධයක් ගෙන දෙන්නට පිටිවහලක් වනු ඇති.” ඩයලොග් ආසිආටා පීඑල්සී හි සන්නාම සහ මාධ්‍ය අංශයේ උප සභාපති හර්ෂ සමරනායක මහතා පැවසීය. “ශ්‍රී ලංකාවේ අනාගත ශූරයන්ට අත හිත දෙමින් ඔවුන්ට ශක්තියක් වීම අපේ හදවතට ඉතා සමීප කර්තව්‍යයක්. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයටත්, තරගවදින සියලු පාසල් ක්‍රීඩකයන්ටත් 2023 තරගවාරය වෙනුවෙන් අපගේ උණුසුම් සුබ පැතුම් එක්කරනවා.”ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, දැල්පන්දු, වොලිබෝල් සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල් පන්දු තරගාවලි, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාව, යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය,ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.

Division 1 – Segment A
ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු අදියරේ 'ඒ' කාණ්ඩයෙන් තරග වදින කණ්ඩායම් හි නායකයන්

Division 1 – Segment B
ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු අදියරේ 'බී' කාණ්ඩයෙන් යටතේ තරග වදින කණ්ඩායම් හි නායකයන්

Division 1 – Segment C
ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු අදියරේ 'සී' කාණ්ඩයෙන් යටතේ තරග වදින කණ්ඩායම් හි නායකයන්