ඩයලොග් සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව, 'E-Kunu' වැඩසටහන දිවයින පුරා තවදුරටත් ව්‍යාප්ත කරයි
2026 අගෝස්තු 05 කොළඹ
වමේ සිට: මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ (උපද්‍රවකාරී අපද්‍රව්‍ය හා රසායනික කළමනාකරණ ඒකකය), ආර්. එම්. ජල්තොට මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් (අපද්‍රව්‍ය කළමනාකරණ) එස්. පී. පෙරියප්පෙරුම මහත්මිය, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී අසංග ප්‍රියදර්ශන මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා, පරිසර අමාත්‍ය ගරු වෛද්‍ය දම්මික පටබැඳි මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ගරු ඇන්ටන් ජයකොඩි මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ Dialog Business Services හි ප්‍රධානී, හේමක බාලසූරිය මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන, ඩයලොග් ආසිආටා පීඑල්සී, මධ්‍යම පරිසර අධිකාරිය (CEA) හා එක්ව, දිවයින පුරාම විද්‍යුත් අපද්‍රව්‍ය වගකීම් සහගත අන්දමින් බැහැර කිරීමේ අරමුණෙන් දියත් කළ E-Kunu වැඩසටහන, තවත් සාර්ථකව ඉදිරියට ගෙනයාමට කටයුතු කර තිබේ. ඒ අනුව, රට පුරාම විද්‍යුත් අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහැර කර, ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ කටයුතු සාර්ථකව ක්‍රියාවට නැංවීමේ අරමුණෙන්, ඩයලොග් සහ මධ්‍යම පරිසර අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමද පසුගියදා සිදුකෙරිණි.
පරිසර අමාත්‍ය ගරු වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම එම උත්සවයට, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් (අපද්‍රව්‍ය කළමනාකරණ) එස්. පී. පෙරියප්පෙරුම මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී අසංග ප්‍රියදර්ශන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ, Dialog Business Services හි ප්‍රධානී හේමක බාලසූරිය යන මහත්වරුද එම අවස්ථාවට එක් වූහ.
වර්තමානයේ රට තුළ බහුල වශයෙන් එක්රැස් වන විද්‍යුත් අපද්‍රව්‍ය, පරිසරයටත් මිනිස් සෞඛ්‍යයටත් බරපතළ තර්ජනයක් බැවින් ඒවා නිසි ක්‍රමවේදයකින් බැහැර කිරීම අත්‍යවශ්‍ය වේ. එම අවශ්‍යතාවය හඳුනාගනිමින්, දැන් තවත් සාර්ථක පියවර ඔස්සේ ක්‍රියාවට නැංවෙන E-Kunu වැඩසටහන හරහා නිවාස, ව්‍යාපාරික ස්ථාන හා ආයතනවලින් ඉවත් කෙරෙන විද්‍යුත් අපද්‍රව්‍ය, දිවයින පුරා ඩයලොග් පාරිභෝගික මධ්යස්ථාවලදී ආරක්ෂිතව බැහැර කිරීමේ පහසුව ජනතාවට සලසා තිබේ. එලෙස, පරිසර හිතකාමී ලෙස බැහැර කරන සියලුම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, නියමිත ප්‍රමිතීන්ට අනුකූලව, ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා එම කටයුතු සම්බන්ධ බලපත්‍රලාභී ආයතන වෙත භාරදීමද වැඩසටහන මඟින් සිදුකෙරේ.
විද්‍යුත් අපද්‍රව්‍ය වගකීම් සහගත ලෙස බැහැර කිරීම උදෙසා ඩයලොග් ආයතනය දීර්ඝ කාලයක් තිස්සේ දරන ප්රයත්නය තවත් ශක්තිමත් කරන මෙම වැඩසටහන, නිෂ්පාදන සමාගම් පාරිසරික වගකීමට අනුගත කිරීමේ රජයේ, EPR රාමුව සහ ජාතික තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සම්බන්ධයෙන්ද ඉවහල් වන්නකි. මෙම වැඩසටහන සාර්ථකව දියත් කරමින්, ඩයලොග් ආයතනය ඉකුත්, 2025 වසර තුළ පමණක් විද්‍යුත් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 3.74 ක් එක්රැස් කර ඇති අතර, ආයතනයේ භාවිතයෙන් ඉවත් කළ විද්‍යුත් අපද්‍රව්‍ය ටොන් 668ක්, විධිමත් ලෙස බැහැර කිරීමටත්, ප්‍රතිචක්‍රීකරණ කටයුතු සඳහාත් ලබාදී තිබේ. එමෙන්ම, භාවිතයෙන් ඉවත් කළ ජාල උපාංගවලින් 100% ක්ම, මෙම වැඩසටහන හා අත්වැල් බැඳගෙන සිටින බලපත්‍රලාභී ප්‍රතිචක්‍රීකරණ ආයතන හරහා ප්‍රතිචක්‍රීකරණය කිරීමද ගෙවුණු වසර තුළ සිදුකර තිබේ.
මෙම උත්සවය අමතමින් පරිසර අමාත්‍ය ගරු වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ මෙසේයි. “ශ්‍රී ලංකාවේ පාරිසරික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විද්‍යුත් අපද්‍රව්‍ය වගකීම් සහගත ලෙස කළමනාකරණය කිරීම ඉතාමත් වැදගත්. E-Kunu වැනි වැඩසටහන් හරහා ජනතාවට පහසුවෙන් තම අපද්‍රව්‍ය බැහැර කිරීමට අවස්ථාව සැලසෙනවා පමණක් නොවෙයි. රට තුළ පරිසර හිතකාමී සංස්කෘතියක් ගොඩනැඟීමටත්, වඩාත් තිරසාර චක්‍රීය ආර්ථිකයක් කරා යාමටත් එයින් විශාල ශක්තියක් ලැබෙනවා.”
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතාද ඒ පිළිබඳව අදහස් දැක්විය. “විද්‍යුත් අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා රජය, කර්මාන්ත ක්ෂේත්රය සහ ජනතාව එකමුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඩයලොග් සමඟ අප ඇති කරගත් මෙම සහයෝගිතාව හරහා විද්‍යුත් අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමේ රට තුළ තවදුරටත් ව්‍යාප්ත කිරීමට හැකි වෙනවා. එය රජයේ ප්‍රධාන අරමුණක් වන EPR ප්‍රතිපත්ති රාමුවට අනුව කටයුතු කිරීමටත් සුවිශාල රුකුලක්.”
මේ පිළිබඳව අදහස් දක්වමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනයේ අධ්යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙලෙස සඳහන් කළේය. “ශ්‍රී ලංකාවේ ඩිජිටල් වශයෙන් දිනෙන් දින දියුණු වීමට සමගාමීව, තිරසර සංවර්ධනය අතින්ද ඉදිරියට යා යුතුයි. මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව අපි ක්‍රියාත්මක කරන E-Kunu වැඩසටහන මඟින් විද්‍යුත් අපද්‍රව්‍ය වගකීම් සහගත අන්දමින් බැහැර කිරීමට ජනතාව පහසුකම් සලසනවා. ඒ සමඟම, තිරසර පාරිසරික පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු කිරීමට අප සමාගමේ කැපවීමත් මේ ඔස්සේ නැවතත් තහවුරු කරනවා” යනුවෙනි.
මෙම වැඩසටහනේ පියවරක් ලෙසින්, දිවයින පුරා පිහිටි ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානවල E-Kunu එක්රැස් කිරීමේ බඳුන් ස්ථාපිත කරන ලද අතර, ඒ හරහා, විද්‍යුත් අපද්‍රව්‍ය අවම කර පිරිසිදු, වඩාත් තිරසාර ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමට එක්වන ලෙස, ආයතනවලටත්, ශ්‍රී ලාංකීය ජනතාවටත් ඩයලොග් සමාගම ඇරයුම් කර සිටියි. වැඩි විස්තර, https://ekunu.lk/ වෙබ් අඩවිය ඔස්සේ දැනගත හැක.