Body

Dialog සහ MAS, විශේෂ අවශ්‍යතා සහිත පිරිස සවිබල ගන්වමින් Enabler Programme 2024 වැඩසටහනේ දෙවැනි අදියර සාර්ථකව අවසන් කරයි

2024 අගෝස්තු 23         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

MAS Holdings හි කාන්තා සවිබල ගැන්වීම, ආචාර ධර්ම සංග්‍රහය සහ උපදේශනය පිළිබඳ සාමාන්‍යාධිකාරිනී තනූජා ජයවර්ධන, ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසාරත්ව අංශ ප්‍රධානී සහ අවදානම් සහ අනුකූලතා සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන, MAS Holdings හි සමූහ තිරසාර ව්‍යාපාර අංශයේ අධ්‍යක්ෂිකා නෙමන්ති කූරගමගේ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Li San Lim, MAS Holdings හි සම-නිර්මාතෘ සහ සභාපති දේශමාන්‍ය මහේෂ් අමලියන්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරිනී සැන්ඩ්‍රා ද සොයිසා, MAS Holdings හි සමාජ තිරසාරත්වය පිළිබඳ සාමාන්‍යාධිකාරීනී අමන්ති පෙරේරා, එම සමාගමේ තිරසාර ව්‍යාපාර පිළිබඳ සහකාර කළමනාකාරිනී චලනි මාරසිංහ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩිජිටල් නවෝත්පාදන හා අන්තර්කරණ සම්බන්ධ ඒකක කළමනාකාර තරුෂ වනිගසේකර, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ තිරසාරත්ව අංශයේ, ආධුනික කාර්ය මණ්ඩල සාමාජිකා සෙනුති මහාදේවන් යන පිරිස, Enabler වැඩසටහනට සහභාගි වූ අය සමග

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමගින්, ඇඟලුම් නිෂ්පාදන හා තාක්‍ෂණික සේවා සමූහ ව්‍යාපාරයක් වන MAS Holdings ක්‍රියාවට නැංවූ, Dialog MAS Enabler 2024 වැඩසටහනේ දෙවැනි අදියර පසුගියදා සාර්ථකව අවසන් විණි. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සිය ආයතන තුළ සවිබල ගැන්වීමට ඇති කැපවීම විදහා දක්වමින් මෙම වැඩසටහන, 2023 වසරේදී මුල් වරට ආරම්භ කරනු ලැබිණි. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා රැකියා වෙළෙඳ පොළේ අවස්ථා වැඩි කර, ඔවුන්ට ආයතනික පරිශ්‍රයන්හි රැකියා සඳහා එක්වීමට අවස්ථාව පුළුල් කිරීම මෙන්ම, ඔවුන් තම ශ්‍රම බලකාය හා ඒකාබද්ධ කිරීමේ ප්‍රතිලාභ පිළිබඳව සේවා යෝජකයින් දැනුවත් කිරීමද අරමුණු කරගනිමින් ක්‍රියාවට නැංවුණු මෙවර වැඩසටහන, ජූලි 2 වැනිදා සිට 15 දක්වා පැවැත්විණි.

මෙම වැඩසටහන යටතේ, උපාධි අපේක්ෂකයින්, උපාධිධාරීන් සහ වෘත්තීය පාඨමාලා හදාරන සිසුන් 14 දෙනකු ආයතන වෙත අනුයුක්ත කෙරුණු අතර, ඔවුන් ආයතනික පරිසරයක් වෙත නිරාවරණය වුණු පළමු අවස්ථාවද එයයි. විශේෂ අවශ්‍යතා සහිත පිරිසට යම් වෘත්තීය ක්ෂේත්‍රයක් ඔස්සේ අධ්‍යාපනය හැදෑරීමට ලැබෙන අවස්ථාවන්ට සමගාමීව, ආයතන පරිශ්‍රයන් තුළදී රැකියා පුහුණුව ලබාගැනීම සඳහා ඇති අවස්ථා සීමිත වන අතර, මෙම වැඩසටහන මගින් එම පරතරය පියවමින් අනාගත රැකියා සඳහා ආයතන පරිශ්‍රයන් තුළ පුහුණුවට යොමු කෙරේ. විශේෂ අවශ්‍යතා සහිත පිරිසට එලෙස අවස්ථාවන් සැලසීම හැරුණු විට, ශ්‍රම බලකාය හා ඔවුන් ඒකාබද්ධ කිරීමේ ප්‍රතිලාභ පිළිබඳව අනාගත සේවා යෝජකයින් දැනුවත් කිරීමද මෙම වැඩසටහනෙහි අරමුණකි. ආයතනවලට බඳවා ගැනීමේ සුපුරුදු පිළිවෙළ අභියෝගයට ලක්කරමින් ක්‍රියාත්මක කෙරුණු වැඩසටහන, අන්තර්කරණයෙන් යුත් බඳවා ගැනීමේ සංස්කෘතියක් සඳහා පරිසරය සකස් කරන්නක්ද විණි.

වැඩසටහන සඳහා අදාළ කාලසීමාව තුළ, විශේෂ අවශ්‍යතා සහිත පිරිසට Dialog සහ MAS ආයතන පරිශ්‍රයන්හි සතියක් බැගින් ගත කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබිණි. ඒ හරහා ආයතනික පරිශ්‍ර, නිෂ්පාදන අංශ සහ පාරිභෝගික/සේවා මධ්‍යස්ථානවලට සම්බන්ධ වීමෙන්, එම අංශවල මෙහෙයුම් කටයුතු පිළිබඳ වටිනා අවබෝධයක් ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසිණි. එමෙන්ම, ඔවුන්ට ආයතනික පරිසරයට පහසුවෙන් හැඩගැසීම සඳහා, එම ආයතන පිළිබඳව හඳුන්වාදීමක්ද සිදු කෙරිණි. අධ්‍යයන හා ප්‍රායෝගික සැසිවලින් සමන්විත වූ මෙම වැඩසටහන තුළින් ඊට සහභාගි වූ පිරිසට ආයතනික කටයුතු පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට හැකි වූ අතර, අනාගත වෘත්තීය දියුණුව ළඟාකර ගැනීමට අවශ්‍ය කුසලතා වැඩිදියුණු කිරීමද එමගින් සිදුකෙරිණි. වැඩසටහන අවසන් වූයේ, ඔවුන් Dialog සහ MAS ආයතනවල කටයුතු කිරීමෙන් ලබාගත් හැදෑරීම් හා නිර්දේශ දැක්වෙන ඉදිරිපත් කිරීම්වලින්ද පසුවය. විශේෂ අවශ්‍යතා සහිත පිරිසට ආයතනික මෙහෙයුම් සඳහා එක්වීමට එම පරිශ්‍ර හැඩගැසිය යුතු ආකාරය පිළිබඳ එම අදහස්, ඔවුන්ද ඇතුළත් ආයතනික පරිශ්‍රයක් සඳහා බෙහෙවින් වැදගත් වේ.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසාරත්ව ප්‍රධානී සහ අවදානම් සහ අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන මෙම වැඩසටහන පිළිබඳව සිය අදහස් මෙලෙස පළ කළේය. "ආයතන පරිශ්‍රයන් තුළ හා අනෙකුත් පරිසරයන් තුළට අන්තර්කරණ විසඳුම් ක්‍රියාත්මක කිරීමට MAS අපට ලබාදෙන මිල කළ නොහැකි සහයෝගය හා කැපවීම සම්බන්ධයෙන් අපගේ කෘතඥතාව පුද කරනවා. රැකියා සඳහා බඳවා ගැනිමේ සුපුරුදු පිළිවෙළ අභියෝගයට ලක්කරමින් ආයතන පරිසරය අර්ථවත් වෙනසක් කරා යොමු කරන මෙම වැඩසටහන, අන්තර්කරණය හා විවිධත්වය සුරකින රැකියා පරිසරයක් ගොඩනැගීමේ පරිවර්තනීය බලය පිළිබඳව අප තබා ඇති විශ්වාසය පිළිබිඹු කෙරෙන්නක්. මෙම වැඩසටහන වැදගත් වෙන්නේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සවිබල ගැන්වීමට පමණක් නොවෙයි. එය, ආයතනික විශිෂ්ටත්වය හා සමාජ ප්‍රගතිය උදෙසා විවිධත්වය කරා යොමු වීම වැදගත් බවට, අපගේ ප්‍රජාව පුළුල් ලෙස දැනුවත් කරන පුරෝගාමී වැඩසටහනක්.”

MAS Holdings හි සමූහ තිරසාර ව්‍යාපාර අංශයේ අධ්‍යක්ෂිකා නෙමන්ති කූරගමගේ මෙලෙස ප්‍රකාශ කළාය. “පසුගිය වසර 35 තුළම MAS හි අපේක්ෂාව වුණේ, අපගේ විවිධත්වයෙන් යුතු ශ්‍රම බලකාය සඳහා අන්තර්කරණයෙන් යුත් ආයතනික පරිශ්‍රයක් සකස් කිරීමයි. එහිදී විශේෂ අවශ්‍යතා සහිත සහෘදයන් සවිබල ගැන්වීමේ අපගේ උත්සාහය, ජාත්‍යන්තර හොඳම ක්‍රමවේද පදනම් කරගනිමින්, සේවයේ යෙදවීම, සබල කරවීම, නියැලීම හා සවිබල ගැන්වීම යන ක්ෂේත්‍ර හතර කේන්ද්‍රගත කරමින් දරනු ලැබූවා. Dialog MAS Enabler වැඩසටහනේ පළමු වසරේ පටන් අප ලබාගත් අත්දැකීම් ඔස්සේ, මෙවර වැඩසටහන සිසුන්ට ඉහළම ප්‍රතිඵල අත්කර දෙන වැඩසටහනක් බවට පත් කිරීමටත් අපට හැකි වුණා. ඒ පිළිබඳව වගේම, වෙනස් වන අනාගත ශ්‍රම බලකායට සරිලන පරිදි කටයුතු කිරීම සඳහා හොඳින් සූදානම් වීමට මෙම වැඩසටහන මගින් අපිට හැකියාව ලැබීම ගැනත් සතුටුයි.”