Body

Doc990, ශ්‍රී ලංකාවේ ප්‍රථම, පරිපූර්ණ AI සෞඛ්‍ය සහකරු වන Suvawi හඳුන්වාදෙයි

මෙය, ශ්‍රී ලංකාවේ වඩාත්ම උසස්, AI Chatbot සෞඛ්‍ය සේවාවයි

2026 ඔක්තෝබර් 04         කොළඹ

 

වමේ සිට: Digital Health Pvt Ltd හි ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී තීක්ෂණ ඒකනායක, එම සමාගමේ මූල්‍ය කළමනාකාරිනී මදාරා අබේසිංහ, අලෙවිකරණ සහ වර්ධන කළමනාකාරිනී දෙවින්දි වනසුන්දර, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනී රේණුකා ප්‍රනාන්දු, Digital Health Pvt Ltd හි ප්‍රධාන විධායක නිලධාරී ජනිත් පීරිස්, එම සමාගමේ තාක්ෂණ ප්‍රධානී කසුන් රණසිංහ, සහකාර තාක්ෂණ ප්‍රධානී අමිල ජයශංක සහ මෘදුකාංග ඉංජිනේරු චරිත්‍ර ජයසිංහ යන මහත්ම මහත්මීන් ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී අනුබද්ධ Digital Health (Pvt) Ltd මගින් ක්‍රියාත්මක කරන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය විසඳුම් සම්පාදකයා වන Doc990 සේවාව, ශ්‍රී ලාංකිකයින් වෛද්‍ය සේවාවන් කරා යොමුවන ආකාරයෙහි සුවිශේෂී වෙනසක් සිදුකරමින්, ඉදිරිගාමී පූර්ණ AI සෞඛ්‍ය සහකරු වන Suvawi නිල වශයෙන් එළිදක්වනු ලැබීය. Doc990 ඩිජිටල් පද්ධතිය හා මුළුමනින්ම ඒකාබද්ධ කර ඇති මෙම AI Chatbot සේවාවෙන්, දැන් වෛද්‍ය හමුවීම් සඳහා වේලාවන් වෙන්කර ගැනීම සාම්ප්‍රදායික ඩිජිටල් මෙවලම්වලින් උසස් Chatbot තාක්ෂණය වෙත මාරු කරමින්, ජනතාවට පරිපූර්ණ AI සෞඛ්‍ය සහකරුවකුගේ සහය ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ.

සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමේදී අභියෝගාත්මක ගැටලුවක් වන්නේ, රෝගීන්ගේ සෞඛ්‍ය ගැටලුවලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා 100% ක් ගැළපෙන වෛද්‍යවරයා සොයාගැනීමයි. මෙරට ඩිජිටල් සෞඛ්‍ය සේවාවට හඳුන්වාදෙන Suvawi, Chatbot සේවාව හරහා රෝගීන්ට තම සෞඛ්‍ය ගැටලු සරලව පැවසීම ප්‍රමාණවත් වේ. එම සංවාදය අනුව ක්‍රියාත්මක වන Suvawi සේවාවේ වෛද්‍යමය AI පද්ධතිය මඟින් අදාළ වෛද්‍ය විශේෂඥ අංශය ක්ෂණිකව හඳුනාගන්නා අතර, ඉන් නොනැවතී, රෝහල්වල ඒ මොහොතේ පවතින වෛද්‍ය කාලසටහන් විශ්ලේෂණය කිරීමද සිදුකරනු ලබයි. ඒ අනුව, පාරිභෝගිකයින්ට පහසු දිනයක, නිශ්චිත රෝහලකදී විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම සඳහා විසඳුම් එමඟින් ඉදිරිපත් කෙරේ.

මෙම නවතම සේවාව හඳුන්වාදීම පිළිබඳව අදහස් දැක්වූ Doc990 හි ප්‍රධාන විධායක නිලධාරී ජනිත් පීරිස් මහතා මෙසේ පැවසීය. “Suvawi දියත් කිරීමෙන්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවාවේ සුවිශාල පරිවර්තනයක් සනිටුහන් කරනවා. රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමේදී ඇතිවන අවිනිශ්චිතභාවය මෙයින් මඟහැරෙන අතරම, පියවර ගණනාවක් හරහා සේවාව ලබාගැනීමේ ක්‍රමය මේ තුළින් වළක්වා ගැනීමට ඉඩකඩ සැලසෙනවා. රෝගියෙකුට තමන්ට ඇති අසනීපය Suvawi සමඟ පැවසීමෙන්, තමන්ට පහසු දිනයක, ආසන්නම රෝහලක ඊට අදාළ විශේෂඥ වෛද්‍යවරයා චැනල් කිරීම ඇතුළුව අදාළ සම්පූර්ණ සත්කාර සේවාව, එකම Chat එකකින් සිදුකර ගත හැකියි.”

දිවයින පුරා විහිදුණු පුළුල් Doc990 පද්ධතිය සමඟ සෘජුවම ඒකාබද්ධ වන Suvawi සේවාවෙන්, රෝහල්වල ඒ මොහොතේ පවතින කාලසටහන් අනුව, වෛද්‍යවරුන් චැනල් කිරීමට ක්ෂණික සහ විශ්වාසනීය මඟපෙන්වීමක් ලබාදෙයි. මෙම Chatbot සහකරු දැනටමත් Doc990 මොබයිල් App එකේ නවතම අනුවාදය භාවිත කරන සියලුම පාරිභෝගිකයින්ට ලබාගත හැකි අතර, එමඟින් දිවයින පුරා ශ්‍රී ලාංකිකයින්ට වඩාත් වේගවත්, කාර්යක්ෂම මෙන්ම, වඩාත් පහසු සෞඛ්‍ය සේවා අත්දැකීමකට මඟ සැලසේ.