Body

Dialog වෙතින් අනුරාධපුර මහා විහාර පරිශ්‍රය තුළ නිදහස් WiFi කලාපයක්

2019 දෙසැම්බර් 24        කොළඹ

 

news-1

වමේ සිට දකුණට: ඩයලොග් ආසියාටා පීඑල්සී හි සමූහ ප්‍රධාන තාක්‍ෂණ නිලධාරී ප්‍රදීප් ද අල්මේදා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනි අමලි නානායක්කාර, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, අනුරාධපුර රුවන්වැලිසෑය චෛත්‍යාරාමාධිකාරී, නුවරකලාවිය ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්, බෝමළුව විහාරවාසී ශාස්ත්‍රවේදී පූජ්‍ය කුඩා ඇලගමුවේ ඥානසිරි හිමි, බෝමළුව විහාරවාසී ශාස්ත්‍රපති පූජ්‍ය පහළතලාවේ සුමනිසිරි හිමි, සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී වෙළෙඳ සැලසුම් හා පාලන, මනහර විජේවික්‍රම.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, උඳුවප් පොහොය දිනයේදී, අනුරාධපුර මහා විහාර පරිශ්‍රය තුළ නිදහස් WiFi කලාපයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී. මහා විහාරයේ ඉල්ලීම පරිදි ස්ථාපනය කරන ලද මෙම නිදහස් WiFi කලාපය, අනුරාධපුර රුවන්වැලිසෑය චෛත්‍යාරාමාධිකාරී, නුවරකලාවිය ප්‍රධාන සංඝනායක, පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. උඩමළුව මහා විහාර පරිශ්‍රයේ බටහිර දොරටුවෙන් පිටත කලාපයක ස්ථාපිත කල නිදහස් WiFi කලාපය, මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ සන්නිවේදන අවශ්‍යතා වෙනුවෙන් සහ මහා විහාර පරිපාලන අවශ්‍යතා කාර්යක්ෂමව ඉටුකරගැනීම සඳහා ක්‍රියාත්මක වේ.

ඩයලොග් විසින් උඳුවප් පොහොය දිනයේදී ස්වාධීන රූපවාහිනී සේවය සමඟ එක්වී “සවණක් රැස්” වැඩටසටහනට අනුග්‍රහය දක්වන ලද අතර, දවස පුරා ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ පැවති වැඩසටහන් දැකගනිමින් ඒ හා සම්බන්ධවීමට මෙරට සියලු බෞද්ධයින් හට අවස්ථාව සලසාදෙන ලදී. තවද අනුරාධපුර මහා විහාර පරිශ්‍රයට අයත් ධර්මශාලාවේ වහල පිළිසකර කිරීමේ කටයුතු සඳහාද ඩයලොග් තම දායකත්වය ලබාදෙන අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ‚ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එම කටයුතු සඳහා අවශ්‍ය පිරිස් බලයෙන් සහයෝගිත්වය දක්වයි.

ඩයලොග්, කොළඹ කොටස් වෙළඳපලේ ප්‍රමුඛතම පොදු ලැයිස්තුගත සමාගමක් වන අතර, ශ්‍රී ලාංකික උරුමය සහ සංස්කෘතිය රැකීමට උරදෙන ප්‍රධාන දායකයෙකු ලෙසින් මහනුවර පෙරහැර, කැළණිය දුරුතු මහා පෙරහැර, ගංගාරාමය නවම් මහා පෙරහැර, බෞද්ධාලෝක වෙසක් කලාපය, ගංගාරාමය ශ්‍රී බුද්ධ රශ්මි වෙසක් කලාපය, කතරගම ඇසළ පෙරහැර, ගැටබරු ඇසළ පෙරහැර සහ කෝට්ටේ රජ මහා විහාරය පෙරහැර ඇතුළු සංස්කෘතික අවස්ථා රැසකට දිගු කාලීනව තම දායකත‍වය ලබා දී ඇත. මෙය ශ්‍රී ලාංකේය සම්ප්‍රදාය සහ උරුමය රැකගැනීම වෙනුවෙන් ඩයලොග් සමාගමේ තවත් පියවරක් වන අතර, දිඹුලාගල ආරණ්‍ය සේනාසනයෙහි වාහල්කඩ සැකසීමේදී ද සංස්කෘතියෙන් පොහොසත් ශ්‍රී ලංකා ඉතිහාසය ගොඩනගාලන්නට දායකත‍්වය සපයා ඇත.