Body

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, 'සෙනෙහෙ සියපත 2017' නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තබයි.

2017 සැප්තැම්බර් 09         Colombo

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා සමාගමේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත 'සෙනෙහෙ සියපත' ගම්මානය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය, ආපදා කළමනාකරණ අමාත්‍ය, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එම අවස්ථාව සඳහා කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය, ගරු ජොන් සෙනවිරත්න මැතිතුමා, අපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය, ගරු දුනේෂ් ගන්කන්ද මැතිතුමා, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය, ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමා, ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගමේ සමූහ ප්‍රධාන අළෙවි නිලධාරිනී, අමලි නානායක්කාර, රත්නපුර දිස්ත්‍රික් ලේකම්, මාලනී ලොකුපෝතාගම, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම්, ආර්.එච්.එස්. දිසානායක යන මහත්ම මහත්මීන් සහ ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජිතයින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජිතයින් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජිතයින් විශේෂ ආරාධිතයින් ලෙස සහභාගි වූහ.

නිවාස 37 ඉදි කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 57.5 ක් වැය වන අතර, මේ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වය නොමිලේ ලබාදෙනු ලබයි. එමෙන්ම මේ උදාර කර්තව්‍යයට නොමසුරුව දායක වූ Dialog පාරිභෝගිකයන් රුපියල් මිලියන 16.53ක මුදලක් පරිත්‍යාග කළ අතර, එම මුදල තෙගුණ කරමින් තවත් රුපියල් මිලියන 33.47ක් Dialog සමාගම ඊට එකතු කරනු ලැබීය. ඊට අමතරව RIL Property PLC වෙතින් තවත් රුපියල් මිලියන 7.5ක මුදලක් පරිත්‍යාග කිරීමෙන් පසු සෙනෙහෙ සියපත අරමුදල. රුපියල් මිලියන 57.5ක මුදලක් රැස් කරගන්නා ලදී.

ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සකස් කළ (NBRO) නිර්ණායකයන්ට අනුව 'සෙනෙහෙ සියපත 2017' යටතේ නිවාස 25ක් හා 12ක් පිළිවෙළින් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ හා මාතර දිස්ත්‍රික්කයේ කොටපොල'සෙනෙහෙ සියපත' ගම්මාන වල ඉදි කරනු ලබන අතර, එම ඉදි කිරීම් කටයුතු ඩයලොග් ආසිආටා සමාගමේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි,

ස්වාභාවික විපත් නිසා අසරණ වන ජනතාවට සහන සැලසීමේ අරමුණින් 2016 මැයි 20 දින ආරම්භ කළ 'සෙනෙහෙ සියපත' ව්‍යාපෘතියෙන් පසුගිය වසරේ කෑගල්ල අරනායක සාමසර කන්ද නායයෑමෙන් විපතට පත් ජනාතව වෙත නිවාස 30ක් ඉදි කළ අතර, මෙවර ද ගංවතුරෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ඉදිරිපත් වෙමින් රු. 50ක පරිත්‍යාගයන් SMS (කෙටි පණිවුඩ සේවාව) හෝ Star Point හෝ eZ Cash මගින් සිදු කරන මෙන් සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය. එසේ ලැබුණු සෑම රු. 50කටම තවත් රු. 100 බැගින් එකතු කිරීමෙන් රු. 150ක් වන ලෙස මුදල් ප්‍රමාණය තෙගුණ කර ව්‍යාපෘති අරමුදලට බැර කරනු ලැබීය.

'සෙනෙහෙ සියපත' අරමුදලේ වියපැහැදම් කටයුතු ස්වාධීන ව අධීක්ෂණය කළ ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස් ශ්‍රී ලංකා විගණන ආයතනයේ වාර්තාව sm.dialog.lk/floodrelief මගින් ප්‍රසිද්ධ කෙරේ.