Body

ඩයලොග් ‘සවිය’ නමින් කිරි ගොවීන් සඳහා ජංගම උපදේශන සේවාවක් අරඹයි

13 January 2020         Colombo

 

news-1

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදක වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දේශීය කිරි ගොවීන්ගේ කිරි නිෂ්පාදන ධාරිතාව වර්ධනය කරගැනීම, නිෂ්පාදනය කරන කිරිවල ප්‍රමිතිය ඉහළ නැංවීම සහ පශු සම්පතෙහි සෞඛ්‍යය ඉහළ නැංවීමට ඉවහල් වන ‘සවිය’ නම් ජංගම උපදේශන සේවාව හඳුන්වාදෙන ලදී.

වෙළඳපොළ කේන්ද්‍ර කරගත් කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය (Market Oriented Dairy; MOD) හරහා කිරි ගොවියන්ට සහ ඒ හා සම්බන්ධ ව්‍යවසායන්ට සහාය වන International Executive Service Corps (IESC) ආයතනය සමඟ සහයෝගීත්වයෙන් මෙම සේවාව සැපයෙන අතර, MOD (Market Oriented Dairy) ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වන්නේ ඇමරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) ‘Food for Progress’ ව්‍යාපෘතිය මගිනි. මෙම ජංගම උපදේශන සේවාවේ කිරි නිෂ්පාදනයට අදාළ තාක්ෂණික දැනුම පිළිබඳ පණිවිඩ සඳහා සහාය දක්වනු ලබන්නේ වෙළඳපොළ කේන්ද්‍ර කරගත් කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය පිළිබඳ විෂය දැනුම ඇති විශේෂඳයින් පිරිසක් විසිනි.

කිරි, ශ්‍රී ලංකාවේ පශු සම්පත් කර්මාන්තයේ වැදගත් අංගයක්ව තිබියදී මෙරට නැවුම් කිරි සඳහා දිනෙන් දිනම වර්ධනය වන ඉල්ලුමෙන් දේශීයව සම්පූර්ණ වන්නේ 30-40% ක ප්‍රමාණයක් පමණයි. MOD ව්‍යාපෘතියේ අරමුණ වන්නේ 5,000 කට අධික කිරි ගොවියන් පිරිසකගේ දේශීය කිරි නිෂ්පාදන ධාරිතාවේ ප්‍රමාණය සහ ප්‍රමිතිය ඉහළ නැංවීමයි. තවද නිසි තොරතුරු වෙත ප්‍රවේශවීමේ හැකියාවක් නොමැතිවීම නිසා 332,335 ක් වූ ශ්‍රී ලංකාවේ කිරි ගොවීන්ට මහත් බලපෑමක් එල්ලවූ බව ඉහත ව්‍යපෘතිය මගින් හඳුනාගැනිණ. ‘සවිය’ සේවාව හරහා නිවැරදි භාවිතයන්, කිරි නිෂ්පාදන කළමනාකරණය, ගවයින් පෝෂණය කිරීම සහ පැටවුන් කළමනාකරණය කිරීම පිළිබඳ නිවැරදි සහ අදාළ තොරතුරු, සත්ත්වයින්ගේ වර්ධන අවස්ථා සහ මනා පෝෂණය හා රෝග වළක්වාගැනීම යනාදී වශයෙන් ඊට අදාළ වන වෙනත් තොරතුරු කිරි ගොවියාට ගැලපෙන අයුරින් සකස් කර ඔහුගේ ජංගම දුරකතනය වෙත යොමු කරන අතර, ඉහත සඳහන් කල ගැටළුව සඳහා විසඳුම් සපයයි. මෙම උපදේශන සේවාව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු සහ කිරි සැකසුම් සමාගම් දැනටමත් ලබාදෙන සහායට තවදුරටත් අත්වැලක් සපයන අතර , මේ සඳහා ලියාපදිංචි වන කිරි නිෂ්පාදන ව්‍යවසායකයන් සහ ගොවීන්ට කාලීන ලෙස කිරි නිෂ්පාදනය වැඩිකර ගැනීමට අවශ්‍ය මෙන්ම, කිරි ගවයින්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය වර්ධනය කරගැනීමට අවශ්‍ය වැදගත් උපදේශ කෙටි පණිවිඩ හරහාද, සත්ත්වයින් ගැබ්ගන්නා සමයේ සිට පැටව් බිහිකරන සමයට අදාළව උපදේශ ඇතුළත් හඬ පණිවිඩද යොමු කරනු ලැබේ. මෙම සේවාවේ මූලික එළිදැක්වීම පසුගිය වසරේ ජූලි මාසයේදී වෙළඳපොළ කේන්ද්‍ර කරගත් කිරි නිෂ්පාදන ව්‍යවසායක දිනයේදී අනුරාධපුරයේදී සිදුකෙරිණ. මේ සඳහා කිරි ගොවීන් 800 කට අධික පිරිසක් සහභාගී වූහ.

‘සවිය’ ඩයලොග් විසින් මෙරට ගොවීන් වෙනුවෙන් සපයනු ලබන සේවා අතරට එක්වන නවතම සේවාව වන අතර, දෙමළ භාෂාවෙන් ‘Uzhavar Thozhan‘ නමින් හැඳින්වෙන ‘ගොවි මිතුරු’ සේවාව හඳුන්වාදීමෙන් පසුව සිදුවන එළිදැක්වීමකි. ගොවි මිතුරු සේවාව තුළින් ක්‍රියාකාරී උපදෙස්, ඒ ඒ ගොවි මහතුන්ට ඔවුන්ගේ ස්වාධීන භෝග වගාවට ආවේණික ලෙස සකස් කරදෙනු ලබයි. ගොවි මිතුරු සේවාවේ ඇති භෝග වර්ග 23 ක් සඳහා මේ වන ලියාපදිංචිවී සිටින ගොවීන් සංඛ්‍යාව ලක්ෂ 6 කට අධිකය. ගොවි මිතුරු ශ්‍රී ලංකාවේ විශාලතම ජංගම කෘෂි උපදේශන සේවාවයි.

ඩයලොග් පාරිභෝගිකයන් වන ගොවි මහතුන්ට ගොවි මිතුරු සේවාවට ප්‍රවේශවීම හරහා භෝග පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහාද, කිරි ගොවි මහතුන්ට සවිය සේවාවට ප්‍රවේශවී ඊට අදාළ තොරතුරු ලබාගැනීම සඳහාද දිනකට රු. 1 ක් සහ බදු අය වේ. ගොවි මිතුරු හෝ සවිය සේවාවට, එසේත් නැතිනම් එම සේවාවන් දෙකම සඳහා ලියාපදිංචිවීමට කැමති ගොවි මහතුන්ට ඒ සඳහා තම ඩයලොග් ජංගම දුරකතන ඔස්සේ 616 අමතා ඔවුන් කැමති භාෂාවකින් එම සේවාවන් සඳහා ලියාපදිංචිවිය හැක. අංක 6162 ඇමතීමෙන් ‘සවිය’ සේවාවට සෘජුව ප්‍රවේශවීමට පුළුවන.