பொருள் விரிவாக்கம்

ශ්‍රී ලාංකිකයින්, වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සේවා සම්පාදක හා අන්තර්ජාල සේවා සම්පාදක ලෙස නැවත වරක් Dialog සමාගම ඔසවා තැබූ වගයි.

2018 මාර්තු මස 12 වැනිදා         කොළඹ දී

 

news-1

2018 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී, වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සේවා සම්පාදක සහ අන්තර්ජාල සේවා සම්පාදක ලෙස, නැවත වරක් ජනතා මනාපයෙන් Dialog සමාගම පිදුම් ලැබීය. මෙම ජනතා සම්මානය අපේ රටේ පාරිභෝගිකයින්ගේ ප්‍රතිචාර මත පදනම් වන අතර, මෙම වසරේදී Dialog සමාගම ජනප්‍රියතම ටෙලිකොම් සේවා සම්පාදක ලෙස අඛණ්ඩව සත් වන වරටත් සම්මානයට පාත්‍ර විය. එමෙන්ම වසරේ ජනප්‍රියතම ඉන්ටර්නෙට් සේවා සම්පාදක ලෙස පිටපිට සය වන වරටත් ජනතා සම්මානයෙන් පිදුම් ලද Dialog සමාගම, ශ්‍රී ලංකාවේ අංක 1 සහ වේගවත්ම ජාලය ලෙස පාරිභෝගිකයින්ට ලබාදෙන සේවාවත්, විශිෂ්ටතම සම්බන්ධතාවයත් මෙම විජයග්‍රහණයට හේතුව වශයෙන් දැක්විය හැක.

Dialog සමාගම සන්නිවේදන ක්ෂේත්‍රයේ දියුණුව සලසමින් පුළුල්තම ආවරණයත්, වේගවත් සම්බන්ධතාවයත් සමගින් නවීණ තාක්ෂණයෙන් යුතු නව්‍යකරණයන්හිදී දිවයිනේ මෙන්ම කලාපයේම ඉදිරියෙන්ම සිටින සමාගමකි. 5G (Generation) තාක්ෂණය දකුණු ආසියාවේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වාදෙමින්, Dialog සමාගම අපේ රටේ තාක්ෂණික ක්ෂේත්‍රයේ පෙරමුණ ගෙන කටයුතු කරන අතර, Narrowband Internet of Things (NB-IoT) හා Voice over LTE (VoLTE), VoLTE රෝමිං සහ 4.5G LTE Home Broadband වැනි නවීනතම තාක්ෂණික විසඳුම් පාරිභෝගිකයින් වෙත ගෙන එමින්, විදුලි සංදේශ ක්ෂේත්‍රයේ කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආධිපත්‍ය තහවුරු කිරීමට සමත් වී ඇත.

මෙහිදී අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප්‍රධාන විධායක, සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය. "වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සේවා සම්පාදක සහ අන්තර්ජාල සේවා සම්පාදක ලෙස ජනතා මනාපයෙන් අපව ඔසවා තැබීම පිළිබඳව අප නිහතමානීව ආඩම්බර වෙනවා. අපේ රට ඩිජිටල්කරණය වෙත යන ගමනේදී ප්‍රධාන වශයෙන් පහසුකම් සැපයීමට හා අපගේ දැක්ම අනුව යමින් ලාංකික ප්‍රජාව සහ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට අපි ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා" තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා 'පාරිභෝගිකයින් විසින් වසරින් වසර අප මෙසේ ඔසවා තැබීම මගින් පිලිබිඹු කරන්නේ අපගේ සේවාවන්හි ගුණාත්මක බව පිළිබඳ ඇති ඔවුන්ගේ විශ්වාසයයි' යනුවෙන් පැවසීය.

12 වන වරටත් පවත්වනු ලැබූ මෙම ජනතා සම්මාන උළෙල ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය විසින් සංවිධානය කරනු ලබන අතර එහි සමීක්ෂණ කටයුතු සඳහා සහයෝගිත්වය නීල්සන් ආයතනය විසින් සපයනු ලබයි. දිවයිනේ සියලූ ප්‍රදේශ ආවරණය වන පරිදි වයස අවුරුදු 15 ත් 60 ත් අතර වයස් කාණ්ඩයේ පුද්ගලයින් යොදා ගනිමින් මාස 6 කට වැඩි කාලයක් පුරා පවත්වනු ලබන සමීක්ෂණයක් මගින් සම්මාන සඳහා නම් කෙරෙන ආයතන සහ ජයග්‍රාහකයින් විවිධ කාණ්ඩ යටතේ තෝරාගැනේ. ශ්‍රී ලාංකික ජනතාවගේ හදවතට සමීප වූ වෙළඳනාම සහ පුද්ගලයින් මෙම සම්මාන සඳහා සුදුසුකම් ලබති.