பொருள் விரிவாக்கம்

Yeheli.lk හරහා ඩයලොග් සහ Indira Cancer Trust, පියයුරු පිළිකා පිළිබඳව ජනතාව අඛණ්ඩව දැනුවත් කිරීමට එක්වෙයි

2026 ඔක්තෝබර් 04         කොළඹ

 

ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යාලයේ (SLCO) සභාපති වෛද්‍ය සංජීව ගුණසේකර සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ යන මහත්වරුන්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයට සහයෝගය දක්වමින්, ඩයලොග් ප්‍රධාන කාර්යාලය රෝස පැහැයෙන් ආලෝකමත් කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. Indira Cancer Trust හි සභාපතිනි වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය සමඟින් එම නියෝජිතයින් සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, පියයුරු පිළිකා පිළිබඳව ජනතාව දැනුවත් කරන, මේ ඔක්තෝබර් මාසය ඇරඹෙත්ම, Indira Cancer Trust හා අත්වැල් බැඳගනිමින්, පිළිකාව ප‌රාජය කිරීම සඳහා දැනුවත් වීමේ පණිවිඩය ජනතාව වෙත රැගෙන යා‌මට කටයුතු කරන අතර, ඒ වෙනුවෙන්, කොළඹ පිහිටි ඩයලොග් ප්‍රධාන කාර්යාලය රෝස පැහැයෙන් ආලෝකවත් කරමින් පියයුරු පිළිකා රෝගීන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමඟින් අත්වැල් බැඳගන්නා බවට වන පණිවිඩයද ලබාදෙන ලදී. ඒ හරහා මාසික ස්වයං පියයුරු පරීක්ෂාවෙන් පියයුරු පිළිකාව කල්තියා හඳුනාගෙන එය පරදන්න එක්වන ලෙසට සමස්ත ශ්‍රී ලාංකීය සමාජයට ඇරයුම් කෙරිණි.

Indira Cancer Trust (ඉන්දිරා පිළිකා භාරය) සමඟ එක්ව, ඩයලොග් හි 'Yeheli.lk' හරහා මින් පෙරද පියයුරු පිළිකාව වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවති අතර, මෙම වසරේ වැඩසටහන පියයුරු පිළිකාව පැරදවීමේ එම අඛණ්ඩ ප්‍රයත්නයේ තවත් පියවරකි. මෙවර වැඩසටහන, ‘පපුවට අත තියලා දිවුරන්න’තේමාවෙන්, ලෝක පියයුරු පිළිකා මාසය වන, මේ ඔක්තෝබර් මාසය පුරා පැවැත්වේ. මෙහි එක් පියවරක් ලෙසින්, yeheli.lk වෙබ් අඩවියෙන්, නොමිලේ ලියාපදිංචි වී, පියයුරු ස්වයං පරික්ෂාව ගැන මාසිකව, නොමිලේ සිහි කැඳවන SMS පණිවිඩයක්ද ලබාගත හැකි වේ. ඒ අනුව, මේ ලෝක පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසයේදී, පියයුරු ස්වයං පරීක්ෂවෙන් පියයුරු පිළිකාව කල්තියා හඳුනාගෙන, නිසි ප්‍රතිකාර කරා යොමු වී, පියයුරු පිළිකාව පරදන්න, ‘පපුවට අත තියලා දිවුරන්න’ ජනතාව දිරිමත් කෙරේ. පියයුරු සෞඛ්‍යය පිළිබඳව සමාජයේ විවෘත සාකච්ඡා මතු කරමින්, මාසිකව ස්වයං පියයුරු පරීක්ෂාවන් සිදුකරගැනීමට කාන්තාවන් දිරිගැන්වීමට අපේක්ෂිත මෙම වැඩසටහනෙන්, විශේෂඥ වෛද්‍යවරුන් විසින් තහවුරු කරන ලද විශ්වාසනීය තොරතුරු ජනතාවට පහසුවෙන් සමීප කරන අතර, පියයුරු පිළිකාව මුල් අවධියේදී රෝග ලක්ෂණ මඟින් හඳුනාගැනීමේ වැදගත්කම වඩාත් අවධාරණය කෙරේ.

මේ සියලු ප්‍රයත්නයක් සංකේතවත් කර්මින්, ඩයලොග් ප්‍රධාන කාර්යාලය රෝස පැහැයෙන් ආලෝකවත් කිරීමේ සුවිශේෂී අවස්ථාව, Indira Cancer Trust හි සභාපතිනී හා භාරකාරිනී වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මියගේද, ශ්‍රී ලංකා පිළිකා ‌රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ (SLCO) සභාපති වෛද්‍ය සංජීව ගුණසේකර මහතාගේ සහභාගිත්වයෙන් පැවති අතර, එම අවස්ථාවට ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී රේඛා වීරසූරිය, සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී අසංග ප්‍රියදර්ශන සහ සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී සිම් සියු ෂාන් යන මහත්ම මහත්මීන් ඇතුළුව සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී හා ප්‍රධාන ආයතනික නිලධාරී අසංග ප්‍රියදර්ශන මහතා මෙසේ සඳහන් කළේය. “Indira Cancer Trust සමඟ අප පවත්වන මෙම වැඩසටහන, තාක්ෂණය සහ විශ්වාසවන්ත සහයෝගිතාවන් හරහා ජනතාවට වැදගත් තොරතුරු ඔවුන්ට සමීප කරමින්, සමාජයේ තිරසර යහපැවැත්ම ඉහළ නැංවීම උදෙසා ඩයලොග් දරන කැපවීම පිළිබිඹු කෙරෙනවා. මේ පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසයේ, Yeheli.lk හරහා, කාලෝචිත, දැනුවත් ක්‍රියාමාර්ග ගැනීමට දිරිගන්වන, විශේෂඥ වෛද්‍යවරුන් විසින් තහවුරු කරන ලද තොරතුරු සහ නිතිපතා දැනුවත් කිරීමේ පණ්විඩ ලබාදීම මඟින්, මෙම උත්සාහය දැනුවත්භාවයෙන් ඔබ්බට පුළුල් කිරීමට Yeheli.lk අපට හැකියාව ලැබෙනවා. ‘පපුවට අත තියලා දිවුරන්න’ වැඩසටහන තුළින්, පියයුරු පිළිකාව ගැන දැනුවත්භාවයෙන්, එය කල්තියා හඳුනාගන්නා සංස්කෘතියක් ගොඩනැඟෙනු දැකීම අපේ බලාපොරොත්තුවයි. ”

Indira Cancer Trust හි සභාපතිනී හා භාරකාරිනී, වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය මේ පිළිබඳ අදහස් පළ කළේ මෙසේයි. “පියයුරු පිළිකාවක් සාර්ථකව සුව කරගැනීම සඳහා එය කල්තියා හඳුනාගැනීම ඉතාමත් වැදගත්. ඒ නිසා නිවැරදි තොරතුරු ඔස්සේ, අඛණ්ඩ දැනුවත්භාවය පවත්වාගැනීමත් අත්‍යවශ්‍යයි. ඩයලොග් සමඟ අපේ මේ දිගුකාලීන සහයෝගිතාවය නිසා Yeheli.lk හරහා එම පණිවඩය සමාජයේ වැඩි පිරිසක් වෙත රැගෙන යා හැකියි. මේ හරහා පියයුරු සෞඛ්‍යය ගැන සැලකිලිමත්වීමට, කාන්තාවන් පමණක් නොවෙයි, ඔවුන්ගේ පවුලේ සමාජිකයින් වගේම හිතමිතුරන්ද දිරිගැන්වෙනවා. ඒ අනුව, මාසිකව ස්වයං පියයුරු පරීක්ෂාව සිදුකරගෙන, අවශ්‍ය අවස්ථාවක නිසි වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන හැටියට අපි ඉල්ලා සිටිනවා.”

සෞඛ්‍ය, නීතිමය සහ මනෝසමාජීය කරුණු සම්බන්ධයෙන්, සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම විශේෂඥ උපදෙස් පිරිනමන, Yeheli.lk ඩිජිටල් උපදේශන සේවාව, සමාජයේ සාකච්ඡාවන්ට බඳුන් නොවන කරුණු විවෘතව කතාබහට ලක්කරන ආරක්ෂිත ඩිජිටල් platform එකකි. ඒ හරහා පියයුරු පිළිකාව ගැන දැනුවත් කරමින්, ‘පපුවට අත තබා දිවුරන්න’ පණිවිඩය ජනතාවට රැගෙන යන ඩයලොග් සහ Indira Cancer Trust, පියයුරුවල නිරෝගීභාවය සම්බන්ධයෙන් මතු කරන සංවාදය මේ ඔක්තෝබර් මාසයෙන් එහාටද ගෙන යයි. ඒ අනුව, පියයුරු පිළිකාව පිළිබඳ විශේෂඥ උපදෙස්, දැනුවත් සාකච්ඡා හරහා තම යහපැවැත්ම උදෙසා, නිසි වේලාවට කඩිනමින් පියවර ගැනීමට ජනතාව දිරිමත් කෙරේ. වැඩි විස්තර සඳහා https://www.yeheli.lk/ වෙත පිවිසෙන්න.