Body

ඩයලොග්, Innovation Challenge අවසන් මහා තරගයේදී, ශ්‍රී ලංකාවේ දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින්ට, කිරුළු පැළඳූ වගයි

2024 සැප්තැම්බර් 13         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක විසින් Dialog Innovation Challenge වැඩසටහනේ ජයග්‍රාහණය දිනාගත් SeaLanka කණ්ඩායමට හිමි කුසලානය පිරිනැමූ අවස්ථාව (වමේ සිට දකුණට): TV Derana නාලිකාවේ හි සමූහ අධ්‍යක්ෂ - විකුණුම් සහ අලෙවි තුෂාර පෙරේරා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක, සුපුන් වීරසිංහ සමග SeaLanka කණ්ඩායම ඡායාරූපයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ඩිජිටල් නවෝත්පාදන තරගය ලෙස ඉහළම ප්‍රේක්ෂක අවධානය දිනාගත් Dialog Innovation Challenge (DIC) වැඩසටහන, දිවයිනේ දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින් තෝරාගනිමින් නිමාවට පත් විය. මෙම වැඩසටහන, ඉකුත් මාස දෙකක කාලය පුරා TV Derana හා Dialog TV Channel One ඔස්සේ ප්‍රේක්ෂක ආලින්දයට ගෙනවිත් තිබුණේ, ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටින ඩිජිටල් නවෝත්පාදකයින් සතු නවෝත්පාදන හැකියාවන් ඒ ඔස්සේ පෝෂණය කරමිනි.

එම කාර්යභාරයෙහි සාර්ථක අවසානයක් සනිටුහන් කරමින්, අවසන් මහා තරගය පසුගියදා පැවැත්විණි. වැඩසටහන හා සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන්ගේ තාක්ෂණික සහයද ක්ෂේත්‍රයේ විශේෂඥ විනිසුරු මඩුල්ලක මඟපෙන්වීමද ශ්‍රී ලංකාවේ දීප්තිමත්ම නවෝත්පාදකයින්ට ලබා දෙමින් ඔවුන් කරළියට නැංවූ මෙය පෙරළිකාර වැඩසටහනකි.

මේ සඳහා දිවයිනේ නන්දිසින් ලැබුණු 1200කට අධික අයදුම්පත් සංඛ්‍යාවක් අතරෙන් ඩිජිටල් නවෝත්පාදන හැකියාවන්ගෙන් යුත් කණ්ඩායම් 50 ක් තෝරා ගනු ලැබිණ. එම කණ්ඩායම්වල දස්කම් සතිපතා ප්‍රේක්ෂකයින්ට දැක ගැනීමට හැකියාව සැලසුණු අතර, Dialog Innovation Challenge වැඩසටහනේ අවසන් වටයට සුදුසුකම් ලද්දේ ඒ අතරෙන් තෝරාගන්නා ලද, ඉහළම නවෝත්පාදන හැකියාවෙන් යුත් කණ්ඩායම් ය. අවසන් මහා තරගයේ ජයග්‍රාහකයින් තෝරාගත් විනිසුරු මඩුල්ලට, Code Gen හි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුබසිංහ, ජෝන් කීල්ස් සමූහයේ විධායක උපසභාපති සහ සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී ආචාර්ය රමේෂ් ෂන්මුගනාදන්, නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පීඑල්සී හි සභාපතිනි ෂෙරීන් කාදර් හා Lankan Angel Network හි සභාපති ප්‍රගීත් සුබ්‍රමනියම් යන පිරිස ඇතුළත් වූහ.

මෙම නවෝත්පාදන අභියෝගයේ අවසන් මහා තරගයේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමි කර ගත්තේ වැඩසටහන පුරාම කැපී පෙනෙන දස්කම් විදහා දැක්වූ සාර්ථක ඩිජිටල් විසඳුම්ය. පළමු ස්ථානය සමගින් ඩයලොග් ආසිආටා හි (DIF) නවෝත්පාදන අරමුදල මගින් ආයෝජන සහය ලබා ගැනීමට අවස්ථාවක් හිමි කරගත්තේ Sea Lanka app එක මගින් ධීවරයින්ගේ අස්වැන්න හා ආදායම වැඩි කර ගත හැකි විසඳුමක් ඉදිරිපත් කළ කණ්ඩායමයි. තරගයේ දෙවැනි ස්ථානය දිනාගත් AudiPhix, සිය නවෝත්පාදන‌යෙන් ස්නායුගත ශ්‍රවණාබාධයක් වන CAPD සඳහා සාර්ථක විසඳුමක් පිරිනමමින් ශ්‍රවණාබාධ සහිත පිරිස එදිනෙදා මුහුණ දෙන එම පීඩාවට විසඳුම් ඉදිරිපත් කිරීමට සමත් විය. තෙවැනි ස්ථානය දිනූ ඩිජිටල් නවෝත්පාදනය වූ Cubic, පාසල් සිසුන්ගේ ආරක්ෂාව සහතික කරන IoT පාදක කරගත් ප්‍රවාහන විසඳුමකි.

මෙම නවෝත්පාදන තුනට අමතරව, අපස්මාර රෝගීන් සඳහා වූ සාර්ථක විසඳුමක් වන, FlashGuard ස්මාර්ට් කණ්ණාඩි සහ ඉස්සන් වගා කරුවන් සඳහා IOT පාදකකරගත් විසඳුමක් වන Smart Aqua විශේෂ ඇගයීමට ලක්විණි. මෙම නවෝත්පාදන නිරන්තර අධීක්ෂණයට බඳුන් කරමින්, ඒ හරහා නවෝත්පාදකයින්ට ආදායම් ඉපැයීමටද අවස්ථාව සලසන ඩයලොග්, මෙම පෙරළිකාර ඩිජිටල් විසඳුම් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින්ට, අඛණ්ඩ සහය පිරිනමයි.

“ඩයලොග් අපි විශ්වාස කරන්නේ, ලංකාවේ ප්‍රගතිය සඳහා නවෝත්පාදන වැදගත් වන බවයි. ඒ වගේම, අපේ සන්නාම පොරොන්දුවත් නවෝත්පාදන කේන්ද්‍ර කර ගනු ලැබූවක්.” යනුවෙන් ඩයලොග් ආසිආටා පිඑල්සී හි අධ්‍යක්ෂ සමූහ ප්‍රධාන විධායක, සුපුන් වීරසිංහ මහතා පැවසීය. “මෙරට ප්‍රජාව හා ව්‍යාපාර සවි බල ගැන්වීමට හා පොහොසත් කිරීමට හැකි නවතම ඩිජිටල් විසඳුම් සමගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැකියාවන් එළිදක්වන හා නවෝත්පාදකයින් බලගන්වන, Dialog Innovation Challenge වැනි දූරදර්ශී අනාගත දැක්මෙන් යුත් ව්‍යාපෘති දියත් කිරීම අපට ගෞරවයක්. තරගයට සහභාගි වූ නවෝත්පාදකයින්‌ගේ ව්‍යාපෘති තාක්ෂණික හා වානිජමය වශයෙන් වැඩිදියුණු කිරීම සඳහා සිය සහයෝගය හා මග පෙන්වීම ලබා දීමට අප හා අත්වැල් බැඳගත් ආයතන වලට අපගේ කෘතඥතාව පුද කරනවා. ඒ වගේම, මෙම වැඩසටහන සුවිශාල ප්‍රේක්ෂක පිරිසක් කරා ගෙන ගිය TV Derana නාලිකාවටත් අපගේ කෘතඥතාව හිමිවෙනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය.

වැඩි විස්තර සඳහා කරුණාකර, https://ic.dialog.lk/ වෙත පිරිසෙන්න.