Body

ඩයලොග් ආසිආටා, ශ්‍රී ලාංකීය ධීවර ජීවිත සරුසාර කිරීමට භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන සයුරු සේවාවේ මොබයිල් App එළිදක්වයි

2024 සැප්තැම්බර් 19         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

(වමේ සිට දකුණට) - ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ, විවෘත මුහුදු කලාප සම්බන්ධ සහකාර අධ්‍යක්ෂ, එම්.එම්. ආරියරත්න, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී මුදලිගේ ජානක ප්‍රසන්න, ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසර අංශ ප්‍රධානී සහ අවදානම් සහ අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන, ගරු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා කල්‍යාණි හේවාපතිරණ මිය, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථා සභාපති නිලංක ජයවර්ධන මහතා, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ, වඩිවේල් සත්‍යානන්දන්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ, පාලන සහ නිරීක්ෂණ අංශ සහකාර අධ්‍යක්ෂ, උදිත ගම්හේවා සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ සහකාර අධ්‍යක්ෂිකා තිළිණි නවගමුව යන මහත්ම මහත්මීන් ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලාංකීය ධීවර ප්‍රජාව වෙනුවෙන් නිරතුරු සහය සලසන ඩයලොග් ආසිආටා පී. එල්.සී, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳ ගනිමින් පවත්වාගෙන යන සයුරු සේවාව සඳහා, මොබයිල් App එක එළිදක්වා තිබේ. ධීවර ජනතාවට ප්‍රවේශ විය හැකි පරිදි සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් පවත්වාගෙන යන මෙම මොබයිල් App එක, කාලගුණ තොරතුරු හා අනෙකුත් වැදගත් තොරතුරු නිසි කලට කුඩා ධීවර බෝට්ටු හිමියන් හට දැන ගැනීමට හැකියාව සලසමින්, ඔවුන්ගේ ජිවනෝපාය සඳහා අත්‍යවශ්‍ය සහයක් සැලසීමේ මාහැඟි කාර්යභාරයක නියැලෙයි.

සයුරු මොබයිල් App සමඟ එක්ව සිටින දිවයින පුරාම ධීවර ප්‍රජාවට සැණෙන් වෙනස් වන කාලගුණ තත්ත්වයන් පිළිබඳ අනතුරු ඇඟවීම් ද සමඟින් දිනපතා කාලගුණ තොරතුරු, location පාදක කරගත් සේවාවක් ලෙසින් මෙමගින් ගෙන එයි. මෙම App එක, 2020 වසරේ කාලගුණ තොරතුරු Sayuru SMS හා Voice සේවාවන් මගින් දැනුම් දුන්, Sayuru සේවාවෙහිම තවත් පියවරක් ලෙසින් දියත් කළ මොබයිල් App එකකි. මේ ඔස්සේ ධීවර ජනතාවට අතිශයින් වැදගත් තොරතුරු, අද දවසේ කාලගුණය, මගේ මුහුදු ගමන්, Save කළ Locations, දෙපාර්තමේන්තු සේවා, දැනුවත් කිරිමේ වැඩසටහන් හා ඩිජිටල් මාලිමාව ආදී විශේෂාංග ගණනාවක් යටතේ තොරතුරු දැන ගැනීමට හැක. ඩයලොග් පාරිභෝගිකයින්ට, මෙය Google Play Store හරහා ඩවුන්ලෝඩ් කරගැනීමට පහසුව සලසා තිබෙන අතර, දින 90ක අත්හදා බැලීමේ කාලසීමාවකට යටත්ව, මෙහි නවතම විශේෂාංග සමගින් නොමිලේ එක්විය හැකිය. එම කාලසීමාවෙන් අනතුරුව, දිනකට රු.2+බදු පමණක් අය කෙරේ.

එමෙන්ම, කාලගුණ තොරතුරු දැන ගැනිමේ සයුරු SMS හා Voice සේවාවන් ධීවර ප්‍රජාව වෙත පෙර පරිදිම නොමිලේ පිරිනැමේ. මේ හරහා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 01, 09 හා 13 හී සඳහන් ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ අභිලාෂ පෙරදැරිව, ධීවර ප්‍රජාවේ ජීවිත නගා සිටුවීම අරමුණු කරගත් මෙම වැඩසටහන, 2023 වසරේදී ඩිජිටල් අන්තර්කරණ හා ප්‍රජාව සඳහා වන NBQSA සම්මානයෙන් ද, 2021 ඩිජිටල් අන්තර්කරණ හා බලගැන්වීම් කාණ්ඩයේ e- ස්වාභිමානී සම්මානය ඇතුළුව සම්මාන රැසකින්ද පිදුම් ලබා තිබේ. 2020 වසරේ ආරම්භයේ පටන් Sayuru ඇමතුම් හා SMS සේවාව හරහා වාර්ෂිකව ක්ෂණික කාලගුණික වෙනස් වීම් පිළිබඳව ධීවරයින් දැනුවත් කිරීමට හදිසි ඇමතුම් 800,000 කට වැඩියෙන් ලබාදෙමින් ධීවර ප්‍රජාවට සහය වී තිබෙන අතර, වසරකට හදිසි කාලගුණ නිවේදන සම්බන්ධයෙන් මිලියන 2.1 කට වැඩි SMS ප්‍රමාණයක්ද යවා තිබේ. එම සේවාව දැන් මෙරට 100,000 කට අධික කුඩා බෝට්ටු හිමි ධීවරයින් පිරිසක් ක්‍රියාකාරී පරිශීලකයින් ලෙසින් සම්බන්ධ කරගනිමින් ඔවුනට සහය පිරිනමයි.

Sayuru සේවාව සඳහා මොබයිල් App එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්, ධීවර අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්දා මහතා මේ පිළිබඳව අදහස් පළ කළේ ප්‍රසාදයෙනි. “ඩයලොග් ආසිආටා, Sayuru 828 සේවාව ක්‍රියාත්මක කරමින් ධීවර ජනතාවට සහය සලසමින් කටයුතු කළේ, එක්දින මුහුදු ගමන්වල යෙදෙන ධීවරයින්ගේ ජීවිත පිළිබඳව හෝ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි කාලයකයි.” යනුවෙන් හෙතෙම පැවසිය. මෙහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, “අදට ගැළපෙන ඉතාමත් කාලෝචිත පියවරක් ලෙස ධීවර ජනතාව වෙනුවෙන් Sayuru සේවාව සඳහා මොබයිල් App හඳුන්වා දෙමින්, මේ රටේ 100,000 කට අධික ධීවරයින්ගේ ජීවිත සුරක්ෂිත කිරිමට පියවර ගැනීම පිළිබඳව ඩයලොග් සමාගමට ප්‍රණාමය පුද කරන බව” යි.

මෙම අවස්ථාවට එක් වුණු, ඩයලොග් ආසිආටා හි තිරසාර අංශ ප්‍රධානී සහ අවදානම් සහ අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන මහතා මෙලෙස අදහස් දැක්විය.

“ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවට අත්වැලක් ලෙසින්, ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම හා බලගැන්වීම සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ අපේ කැපවීම විදහා දක්වන, Sayuru සේවාව සඳහා මෙම මොබයිල් App එක හඳුන්වා දීම අපට සතුටට කාරණයක්. එය, සමාජයේ ආන්තික ප්‍රජාවන් වෙනුවෙන් අපි දියත් කරන වැඩසටහන් අතරෙන් ඉතාමත්ම වටිනා වැඩසටහනක්. එමගින්, කුඩා බෝට්ටු හිමි ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය කෙරෙහි අනපේක්ෂිත කාලගුණ තත්ත්වයන්ගේ බලපෑම අවම කිරීම සඳහා සුවිශාල මෙහෙයක් ඉටුවනු ඇතැයි යන්න අපේ විශ්වාසයයි.”

Sayuru SMS හා කාලගුණ අනාවැකි හා අනතුරු ඇඟවීම් ගෙන එන Voice සේවාව වෙත මෙන්ම, Sayuru සේවාවේ මොබයිල් App එක වෙත https://www.dialog.lk/sayuru හරහා පිවිසිය හැකිය.