பொருள் விரிவாக்கம்

ඩයලොග් කුසලතා ශිෂ්‍යත්ව වැඩසටහනෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග 20 වසරක සහයෝගීතාව අලුත් කරයි

2023 නොවැම්බර් 30         කොළඹ දී

 

 Official Website to Support Inclusive Online Journeys

ඡායාරූපය (වමේ සිට දකුණට) : එම අවස්ථාවට එක් වූ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, නිහාල් රණසිංහ, ගරු. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ඩයලොග් ආසිආටා හි සමූහ ප්‍රධාන විධායක, සුපුන් වීරසිංහ සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසර ප්‍රධානී සහ අවදානම් සහ අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන යන මහත්වරුන්.

ශ්‍රී ලාංකීය සිසුන් සඳහා සම අධ්‍යාපන ප්‍රවේශ උදා කිරීමේ මාහැඟි කැපවීමට උරදෙමින් ඩයලොග් ආසිආටා පීඑල්සී ක්‍රියාවට නංවන, ඩයලොග් කුසලතා ශිෂ්‍යත්ව වැඩසටහන අභිමානවත් 20 වැනි වසර සපුරයි. පුරා විසි වසරක් මෙම වැඩසටහන සඳහා ඩයලොග් සමගින් අඛණ්ඩව අත්වැල් බැඳගෙන සිටින අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, පසුගියදා ඩයලොග් කුසලතා ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වන එකඟතා ගිවිසුම නැවත වරක් අලුත් කරනු ලැබීය.

2002 වසරෙන් ආරම්භ වී ඉකුත් 20 වසර තිස්සේම, ශ්‍රී ලංකාවේ අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලින් දිස්ත්‍රික් ප්‍රථමයින් බවට තේරී පත් වූ සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරමින් මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නැංවිණි. ඩයලොග් කුසලතා ශිෂ්‍යත්ව වැඩසටහනෙහි 20 වැනි වසර අභිමානයෙන් සනිටුහන් තබමින් එකඟතා ගිවිසුම නැවතත් අලුත් කෙරුණේ, 2023 වසරේ දිස්ත්‍රික් ප්‍රථමයන් ලෙස තේරී පත් වූ සිසුන්, ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා බඳවා ගනිමිනි. ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති එම උත්සවයේදී, අ.පො.ස උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයින් ලෙස විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් 81 දෙනෙක් සහ, සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ටයින් 77 දෙනකු සඳහා කුසලතා ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි. දිවයින පුරාම සිසුන්ගේ අධ්‍යාපනික දක්ෂතා මෙලෙස ඇගයීමට ලක්කරමින්, ඩයලොග් කුසලතා ශිෂ්‍යත්ව වැඩසටහන මගින් මේ වන විට, රුපියල් මිලියන 120 එකසිය විස්සකට අධික වටිනාකමෙන් යුත් ශිෂ්‍යත්ව ප්‍රදානය කර තිබේ.

ඩයලොග් කුසලතා ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳව ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අදහස් පළ කළේ ප්‍රසාදයෙනි. “ඩයලොග් ආයතනය හා අධ්‍යාපන අමාත්‍යාංශය අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විශිෂ්ට දක්ෂතා දක්වන සිසුන් සඳහා වූ මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ ගිවිසුම අලුත් කළේ, වැඩසටහන තවත් පුළුල් කරමින්. කළින්, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ භෞතික විද්‍යා විෂය ධාරාව සඳහා පමණක් වෙන් වුණු මේ ශිෂ්‍යත්ව වැඩසටහනට දැන් උසස් පෙළ අනෙකුත් විෂය ධාරාවන් ඔස්සේ ද දස්කම් දක්වන සිසු සිසුන් ඇතුළත් කෙරෙනවා. මෙම එකඟතාව තුළින් වගේම, නැණස වැනි අධ්‍යාපනික වැඩසටහන් දියත් කිරීම තුළිනුත් පෙන්නුම් කෙරෙන්නේ, ශ්‍රී ලංකාවේ සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට සහය වීම සඳහා ඩයලොග් ආයතනය දක්වන කැපවීමයි.”

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි, සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙලෙස අදහස් දැක්විය. “අධ්‍යාපනයෙන් සුවිශේෂී දක්ෂතා දක්වන, අවශ්‍යතා සහිත සිසු සිසුවියන්ට මෙලෙස ශිෂ්‍යත්ව ප්‍රදානය කරමින්, ඔවුන් ඉදිරි පරම්පරාවේ නායකයින් හා සමාජය වෙනස් කරන්නන් ලෙස සවිබල ගැන්වීම අපේ අරමුණයි. ඒ වගේම, වසර 20 ක් පුරා අධ්‍යාපන අමාත්‍යාංශය සමග ක්‍රියාවට නැංවූ මේ ශිෂ්‍යත්ව වැඩසටහනේ ගිවිසුම අලුත් කිරීමෙන්, සිසු දරු දැරියන් සඳහා අධ්‍යාපනයේ සම ප්‍රවේශ ඇති කිරීමේ අපේ සහයෝගිතා දැක්ම, යළිත් වරක් තහවුරු කරන්නටත් අපට හැකි වී තිබෙනවා.”

ශ්‍රී ලාංකික සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනය නගා සිටුවමින් සම අධ්‍යාපන ප්‍රවේශ උදාකර දීමට කටයුතු කරන ඩයලොග්, ඒ වෙනුවෙන් මේ දක්වා, රුපියල් බිලියනයද ඉක්මවා ගිය මුදලක් ආයෝජනය කර තිබේ. නැණස ටීවී හා නැණස ස්මාර්ට් පාසල් වැඩසටහන ඒ යටතේ ක්‍රියාවට නැංවෙන වැඩසටහන් ද්විත්වයකි. මෙම ඩයලොග් කුසලතා ශිෂ්‍යත්ව වැඩසටහන මගින්ද, මෙරට පාසල් සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශය උදාකරන ඩයලොග් හි අරමුණ, එමගින් සිසු දක්ෂතා ඇගයීම පමණක්ම නොවේ. එය එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 4 මඟින් අපේක්ෂා කරන අරමුණු ළඟා කරලීම සඳහා වන පරිවර්තන ප්‍රයත්නයක් ද වෙයි. එම සුවිශාල ප්‍රවේශය වෙත පා තබමින් ඩයලොග්, අධ්‍යාපනයෙහි සම හා සාධාරණ ප්‍රවේශය සහතික කරන අතරම, ශ්‍රී ලාංකිකයන්ට මුළු මහත් ජීවිත කාලය පුරාම වුව, ඉගෙනීමේ අවස්ථා ප්‍රවර්ධනය කරමින් දීප්තිමත් හා තිරසර අනාගතයක් සඳහා කැප වෙයි.