பொருள் விரிவாக்கம்

ඩයලොග් සවිලැබූ වොලිබෝල් ක්‍රීඩිකාවෝ මධ්‍යම ආසියානු අභියෝගයට සූදානම්

2026 මැයි 19 (කොළඹ)        

 

Dialog-powered Sri Lanka Women’s Volleyball team ready for Central Asian challenge

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා විසින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති මහින්ද බණ්ඩාර මහතා වෙත අනුග්‍රාහකත්ව චෙක්පත පිරිනමන ලද අවස්ථාව.
වමේ සිට: ඩයලොග් ආසිආටා එල්සී හි අලෙවිකරණ මෙහෙයුම් ප්‍රධානී රියාස් හනීෆා මහතා, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති, කමාන්ඩර් මහේෂ් කාරියවසම් මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති මහින්ද බණ්ඩාර මහතා සහ ශ්‍රී ලංකා වොලිබෝල් උප සභාපති, මේජර් ජෙනරාල් දිලූප බණ්ඩාර මහතා

මෙරට ක්‍රීඩාවේ ප්‍රබලතම ප්‍රවර්ධකයා සහ ජාතික ක්‍රීඩාවට දශක දෙකක් පුරා ජාතික මට්ටමෙන් අනුග්‍රහය දක්වනු ලබන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් බලගන්වනු ලබන ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම, 2026 මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියට සඳහා සහභාගීවීම පිණිස මෙම මැයි 20 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතය. අදාළ තරගාවලිය කලාපීය රටවල් 8ක සහභාගීත්වයෙන් මැයි 22වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම තරගාවලියේ මූලික වටය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර එහිදී අශානි චමෝදිකාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය. එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් ලෙසින් කසකස්තනාය, ඉරානය සහ බංගලිදේශය තරග වදිනු ඇත. තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ ඉන්දියාව, කිරිගිස්තානය, මාලදිවයින සහ සත්කාරක නේපාලය තරග වැදීමට නියමිතව සිටිති.

‘‘මෙම තරගාවලියේදී අප තරග වදින ‘බී’ කාණ්ඩය ‘ඒ’ කාණ්ඩයට සාපේක්ෂව අභියෝගාත්මකයි. අප කාණ්ඩයේ සිටින කසකස්තානය, ඉකුත්දා පැවැති ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවේදී චීනයද පරදවමින් තුන්වැනි තැන දිනාගත් කණ්ඩායමයි. ඒ නිසා ඔවුන් තමයි අපේ කාණ්ඩයේ අපට තිබෙන ප්‍රබලම අභියෝගය. බංගලිදේශය සමග තරගය ජයගන්න අපේ ක්‍රීඩිකාවන්ට හැකිවෙයි කියලා දැඩි විශ්වාසයක් අපට තිබෙනවා. ඉරානය සමග තරගය ජයගැනීමට අපේ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ප්‍රමාණවත් කියා මා සිතනවා. ඒ නිසා අවම වශයෙන් මේ අතරින් තරග දෙකක් ජයගෙන අවසන් පූර්ව වටයට යෑමයි අපේ බලාපොරොත්තුව’’ යනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරු අමිල විජේපාල පවසා සිටියේය.

‘‘අප මේ තරගාවලියට ඉතා දක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් කරනවා. ඔවුන් මාස දෙකකට ආසන්න කාලයක් වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාංගණය ආශ්‍රිතව නේවාසික පුහුණුවීම්වල යෙදුණා. මෙම තරගාවලියට සහභාගී වීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය විසින් ලබාදුන් සහයෝගයට අපගේ ස්තුතිය පිරිනැමෙනවා. ඒ වගේම මෙරට ජාතික ක්‍රීඩාව පසුපස නිබඳ ශක්තියක් වුණු ඩයලොග් ආසිආටා මේ තරගාවලි සහභාගීත්වය වෙනුවෙන් අපට ලබාදෙන අනුග්‍රාහකත්වය අතිශයින් අගය කරනවා.” යනුවෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති මහින්ද බණ්ඩාර මහතා පැවසුවේය.

"ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව බලගැන්වීම වෙනුවෙන් ඩයලොග් සිදුකරන කටයුතු රාශියක් අතරේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් වෙනුවෙන්ද අප අපේ උපරිම දායකත්ව ශක්තියක් ලබාදෙනවා. දක්ෂතාවලින් පිරිපුන් මෙරට යෞවනය පාසල් මට්ටමේ ඉහළම තරගකාරී වේදිකාවන් මතට රැගෙන එන්න, දක්ෂයන් හට ජාතික මට්ටමේ තරග අවස්ථා ලබාදෙන්න පමණක් නොවෙයි ඔවුන්ව ජාත්‍යන්තරයට රැගෙන යෑමටත් ඩයලොග් දිගින් දිගටම කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව මෙම තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමට ඩයලොග් ශක්තිය පිරිනමන අතරම මම ඔවුනට සුබ පතනවා’’ යි ඩයලොග් හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවෙරප්පෙරුම මහතා පවසා සිටියේය.

මෙම මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයේ උසපන්දු ප්‍රහාරිකාවන් ලෙසින් දිලුක්ෂි හර්ෂනී, නිමේෂිකා සෙව්වන්දි, ප්‍රීතිකා ප්‍රමෝදනී, ටිමී මේරි, අරණ සංජීවනී සහ ශාලු තිලක්ෂණා ඇතුළත්ව සිටින අතර සංජීවනී කරුණාරත්න, දිල්කි නෙත්සරා, සෙසඳි රුවන්යා සහ පියුමි භාෂිනී සංචිතයේ කෙටි පන්දු ප්‍රහාරිකාවෝ වෙති. නදුනි නිමංසලා සහ කාවින්දි අසන්තිකා ලිබරෝ ක්‍රීඩිකාවන් ලෙසින්ද අශානි චමෝදිකා සහ දිල්කි චාරුකා පන්දු සකසන්නියන් ලෙසින්ද සංචාරය සඳහා වන සංචිතයට අයත්වෙති.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් අමිල විජේපාල ද සහය පුහුණුකරු ලෙසින් උදය රුක්මාල් ද අභ්‍යාසක ලෙසින් උපේන්ද්‍ර පෙරේරා ද කටයුතු කරන අතරවාරයේ කාන්තා භාර නිලධාරිනිය ලෙසින් රේණුකා නිල්මිණි ද, කණ්ඩායම් කළමනාකරු ලෙසින් කමාන්ඩර් මහේෂ් කාරියවසම්ද කටයුතු කරති.

ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්‍රමුඛ අනුග්‍රාහකයා වේ. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සහ ජාතික පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරිනැමිම තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ශූරතාවලි සඳහා සහභාගී වීමට හැකියාව සලසමින්, ක්‍රිඩාවේ විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව, ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ට සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් අඛණ්ඩව කටයුතු කරනු ලබයි.

Dialog-powered Sri Lanka Women’s Volleyball team ready for Central Asian challenge