பொருள் விரிவாக்கம்

ඩයලොග් හි අධිවේගී 5G සම්බන්ධතාවයෙන් බලගැන්වෙන, දකුණු ආසියාවේ ප්‍රථම 5G Ultra eSIM MiFi රවුටරය වෙළෙඳ පොළට නිකුත් කරයි

2026 සැප්තැම්බර් 10         කොළඹ

 

ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, අධිවේගී අන්තර්ජාල පහසුකම් නව මානයකට රැගෙන යමින්, 5G eSIM මඟින් භාවිත කළ හැකි, Wi-Fi 6 තාක්ෂණය රැගත්, 5G Ultra MiFi රවුටරය වෙළෙඳ පොළට හඳුන්වාදී තිබේ. මෙම නවතම උපාංගයෙන්, 5G ජාලය භාවිත කරන පාරිභෝගිකයින්ට මඟතොටේදී වුවත්, අන්තර්ජාල සම්බන්ධතාව වෙත සැණෙකින් පිවිස, විශ්වාසනීය, අධිවේගී අත්දැකීමක් ලබාගත හැක. ඒ, දැනටමත් දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරාම, සජීවී 5G ආවරණ කලාප 1,000 කට වැඩි සංඛ්‍යාවක් පුරා වේගවත්ව විහිදුණු, ශ්‍රී ලංකාවේ විශාලතම, අධිවේගී 5G ජාලයේ අසමසම අත්දැකීම මේ හරහා අත්විඳිය හැකි බැවිනි. මෙම නවතම උපාංගය පිරිනමන ඩයලොග්, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් මීළඟ පරම්පරාවේ විශ්වාසනීය අන්තර්ජාල අත්දැකීම වෙත රැගෙන යාමේ සිය මෙහෙවරද ශක්තිමත් කරයි.

කොතැනක හෝ සිට තම කාර්යාල කටයුතු, ඉගෙනුම් හා ව්‍යාපාර කටයුතු කිරීමට කැමති වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, සිසුන්, සංචාරකයින් සඳහා මෙන්ම, පොදුවේ ශ්‍රී ලාංකීය පවුල් වෙනුවෙන්ම හඳුන්වාදී ඇති මෙම Dialog 5G Ultra MiFi, පාරිභෝගිකයින්ට තමන් සිටින ඕනෑම තැනක සිට, On කළ සැණෙන්, වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගත හැකි උපාංගයකි. පාරිභෝගිකයින්ගේ දුරස්ථ වැඩ කටයුතු, ව්‍යාපාරික ගමන්බිමන් සහ තාවකාලික කාර්යාල පරිශ්‍ර සඳහා මෙන්ම, අමතර අන්තර්ජාල සම්බන්ධතාවක් ලෙසින් භාවිත කිරීමටද මනාව ගැළපෙන මෙම උපාංගයෙන්, සාම්ප්‍රදායික බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් ලබාගත නොහැකි දුර බැහැර පාරිභෝගිකයින්ද අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාව වෙත එක්කරයි.

දකුණු ආසියාවේ ප්‍රථම 5G Ultra eSIM MiFi, Dialog 5G Ultra සහ 4G යන ජාල දෙක තුළම භාවිත කළ හැකි උසස් Wi-Fi 6 තාක්ෂණයෙන් සමන්විත උපාංගයකි. එකවර උපාංග 16ක් දක්වා ඊට සම්බන්ධ කළ හැකි අතර, විදුලියට සම්බන්ධ කිරීමෙන් තොරව අඛණ්ඩව පැය 16ක කාලයක් දක්වා භාවිත කළ හැකි 5000mAh බැටරිය, පාරිභෝගිකයින්ට වඩාත් පහසුවකි. මෙම උපාංගය, Type-C USB කේබලයකින් සම්බන්ධ කිරීමෙන් පසු, ලැප්ටොප්, ටැබ් සහ ස්මාර්ට්ෆෝන් වැනි Wi-Fi පහසුකම් ඇති ඕනෑම උපාංගයක් සමඟ පහසුවෙන් භාවිත කළ හැකිවීමද විශේෂත්වයකි.

ශ්‍රී ලාංකීක පාරිභෝගිකයින් වෙත eSIM One Number සහ eSIM Quick Transfer වැනි සේවාවන් හඳුන්වාදෙමින්, මෙරට ප්‍රමුඛතම eSIM නවෝත්පාදකයා ලෙස ඩයලොග් අත්පත් කරගත් නාමය තවත් ශක්තිමත් කරන මෙම නවතම හඳුන්වාදීමත් සමඟ, එම eSIM විසඳුම්වල සාර්ථකත්වය පදනම් කරගනිමින්, මෙරට පාරිභෝගිකයින්ට වඩාත් සරල හා පහසු, ස්මාර්ට් ඩිජිටල් අත්දැකීම් පිරිනැමීම උදෙසා අඛණ්ඩව කටයුතු කරයි.

මෙම නවතම හඳුන්වාදීම සම්බන්ධයෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී හි, සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනි, ලිම් ලී සාන් මහත්මිය මෙලෙස අදහස් දැක්වූවාය. “සම්බන්ධතා කියන්නේ, මිනිසුන්ගේ අවශ්‍යතාවන්ට අනුව වෙනස්විය යුතු දෙයක්. පාරිභෝගිකයින්, දුරස්ථව රැකියා කටයුතු කළත්, සංචාරවල නිරත වුණත්, එකිනෙකට සම්බන්ධ උපාංග ගණනාවකින් වැඩ කටයුතු කළත්, ඔවුන් අපේක්ෂා කරන්නේ, වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවක්. අපගේ 5G ජාලය පුළුල් කරන අතරම, එම සම්බන්ධතාවයේ සම්පුර්ණ වාසි පාරිභෝගිකයින්ට අත්විඳිය හැකි පරිදි, අපගේ උපාංග පද්ධතියත් පුළුල් කරමින්, දකුණු ආසියාවේ ප්‍රථම 5G Ultra eSIM MiFi උපාංගය මෙලෙස හඳුන්වාදීම, නවතම සම්බන්ධතාවන් සියලු ශ්‍රී ලංකිකයින්ට වඩාත් සමීප කිරීමේත්, පහසු කිරීමේත් තවත් පියවරක්.”

Dialog Ultra 1495, 1895, 2595, 2995 සහ 3999 ඇතුළු Dialog Ultra plans පැකේජ මාලාව සමඟින්, Dialog 5G Ultra පාරිභෝගිකයින්ට අධිවේගී සම්බන්ධතාවයක් අඛණ්ඩව ලබාගැනීමට ඉඩකඩ සලසන මෙම Dialog 5G Ultra MiFi උපාංගයෙන්, ඕනෑම තැනක සිට අඛණ්ඩ අන්තර්ජාල සම්බන්ධතාව වෙත 4G සම්බන්ධතාවය ඔස්සේද එක්විය හැක.

පාරිභෝගිකයින්ට, eSIM පහසුකම් සහිත මෙම Dialog 5G Ultra MiFi උපාංගය, https://dialog.lk/ වෙබ් අඩවියෙන් සහ තෝරාගත් ඩයලොග් අලෙවිසැල්වලින් රු. 39,990ක මුදලකට ලබාගත හැක. එමෙන්ම, ප්‍රමුඛ පෙළේ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා මිලදී ගන්නේ නම්, මාස 60ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රම යටතේ ලබාගැනීමට පාරිභෝගිකයින්ට පහසුව සලසා තිබේ. තෝරාගත් ඩයලොග් අලෙවිසැල් වෙත පැමිණ, මෙම උපාංගය මිලදී ගන්නා පාරිභෝගිකයින්ට, අදාළ Club Vision දීමනාද හිමි වේ. වැඩි විස්තර සඳහා https://dialog.lk/accessories/dialog-5g-ultra-mifi-mf511 වෙත පිවිසෙන්න.