பொருள் விரிவாக்கம்

හෙට දිනයේ ශූරයන් බලගන්වමින් " ඩයලොග් බිග් මැච් සීසන් 2026" දියත් කෙරේ

2026 පෙබරවාරි 05         කොළඹ

 

ශ්‍රී ලංකාවේ අංක එකේ සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් "2026 ඩයලොග් බිග් මැච් සීසන්" සමාරම්භය නිවේදනය කරන ලදී. ජාතික සහ ජාත්‍යන්තර තලයේ සාර්ථකත්වයන් උදෙසා අඩිතාලම වැටෙන පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඇසුරින් හෙට බිහිවන ක්‍රිකට් තරු පෝෂණය කිරීමේ අරමුණෙන් 'ඩයලොග් බිග් මැච් සීසන්' දියත් කෙරිණි.

එළැඹෙන මාර්තුවේදී, ආදි සිසුන් සහ වත්මන් සිසුන්ගේ එකතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ඇති ඔවුන්ගේ බැඳීම පිළිබිඹු කරමින්, මුළු රටම පාසල් ක්‍රිකට් පිළිබඳ ‍ උද්‍යෝගයෙන් ඇලලී යනු ඇත. මෙම මහ තරග වාරයේදී ඩයලොග් ආසිආටා විසින්, දක්ෂතා, අධිෂ්ඨානය සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ පොහොසත් උරුමය විදහා දැක්වෙන පාසල් 12ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මහ තරග 6ක් සාඩම්බරයෙන් යුතුව බලගන්වනු ඇත.

'ඩයලොග් බිග් මැච් සීසන්' යනු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා උරුමය වෙනුවෙන් අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටුකරන්නක් වන අතර, අපගේ රට නියෝජනය කිරීමට නියමිත අනාගත ශූරයන් පෝෂණය කරනු ලබන මෙම අගනා ක්‍රිකට් වසන්තයට අඛණ්ඩව සහය වීමට ලැබීම ගැන අපි මහත් සතුටට පත්වෙනවා" යනුවෙන් පවසන ඩයලොග් ආසිආටා පීඑල්සී හී සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා ප්‍රීතිමත් ක්‍රිකට් සමයක් සඳහා සියලු කණ්ඩායම් සහ ක්‍රීඩකයන් වෙත සිය සුබ පැතුම් එක්කර සිටියි.

බිම් මට්ටමේ ක්‍රිකට් සංවර්ධන සඳහා වන මෙම කැපවීම මගින්, ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඩයලොග් සමාගම විසින් ඉටුකරන කාර්යභාරයද නිරූපණය වේ. ICC ක්‍රිකට් තරගාවලි සඳහා ශ්‍රී ලංකාවේ නිල විකාශකයා ලෙසින් ලබන සෙනසුරාදා සිට 2026 ICC විස්සයි විස්ස ලෝක කුසලානය ඇතුළුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන තරගාවලි මාධ්‍ය රැසක් ඔස්සේ සජීවීව විකාශය කරනු ඇති අතර එමගින් ලොව දැවැන්තම ක්‍රිකට් තරගාවලි මිලියන 21ක් වන ශ්‍රී ලාංකිකයන් වෙත රැගෙන ඒ්මට සමත් වනු ඇත.

ඩයලොග් ආසිආටා පී.එල්.සී, ලොව දෙවැනි දීර්ඝතම ක්‍රිකට් මහ තරගය වන 147 වැනි 'නිල් මහ සටන' අඛණ්ඩව 21 වැනි වසරටත් බලගන්වමින්, මාර්තු 12 සිට 14 දක්වා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව මාර්තු 28 වැනිදා එහි සීමිත පන්දුවාර තරගය පැවැත්වෙනු ඇත.

එසේම, පාසැල් ක්‍රිකට් පිටියේ සාම්ප්‍රදායික එදිරිවාදීන් වන කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලය අතර 92 වැනි 'ශාන්තුවරයන්ගේ සටන' වෙනුවෙන්ද ඩයලොග් සහය හිමිවන අතර, එහි 52 වැනි සීමිත පන්දුවාර තරගය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට ‍නියමිතය.

'ඩයලොග් බිග් මැච් සීසන්' කන්ද උඩරටට ගෙනයන, කිංගස්වුඩ් විදුහල සහ ධර්මරාජ විදුහල අතර වන 119 වැනි සුලෝහිත සංග්‍රාමය, මාර්තු 21 සිට 23 දක්වා පැවැත්වෙන අතර, එහි එක්දින තරගය පැවැත්වෙන්නේ මාර්තු 28 වැනිදා අස්ගිරිය ක්‍රීඩාංගණයේදී ය.

මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර 74 වැනි බස්නාහිර පළාතේ රන් සටන, මාර්තු 27 සිට 29 දක්වා ද අනතුරුව අප්‍රේල් 5 වැනි දින පැවැත්වෙන එහි සීමිත පන්දුවාර තරගය සඳහාද ඩයලොග් ආසිආටා පීඑල්සී අනුග්‍රහය දක්වයි.

මෙයට අමතරව, මාර්තු 20 සිට 22 දක්වා වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශාන්ත ආනා විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය අතර 42 වැනි ඇතුලගල්පුර සටන ද, මාර්තු 29 වැනිදාට යෙදී ඇති එහි සීමිත පන්දුවාර තරගයද ඩයලොග් විසින් බලගන්වනු ලබයි.

උද්‍යෝගය සහ ක්‍රීඩාවේ විශිෂ්ටත්වය අපේක්ෂාවෙන් මෙම යොවුන් ක්‍රිකට් තරු සිය උද්වේගකර ක්‍රිකට් සමයට පිවිසෙන මොහොතේ ඩයලොග් ආසිආටා, එම සියලු කණ්ඩායම්වල ක්‍රීඩකයන් වෙත සිය සුබපැතුම් එක්කරයි.

ප්‍රේක්ෂකයින් හට ThePapare TV ඔස්සේ මෙම තරග සජීවීව නැරඹිය හැකි අතර එය 'Dialog TV නාලිකා 62, 63, 126 සහ 127 ඔස්සේ ද තරග උණුසුම අත්විඳිනු හැකි වේ. එපමණක් නොව, අන්තර්ජාලය ඔස්සේ එම තරග සජීවීව නැරඹීමට අවස්ථාව උදාකරමින්, Play ඇප් (මොබයිල් app එක) ඔස්සේ සහ ThePapare.com හරහාද විකාශය කිරීමට නියමිතය.

ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්‍රමුඛ අනුග්‍රාහකයා වේ. ජාතික පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරි නැමිම තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ශූරතාවලි සඳහා සහභාගී වීමට හැකියාව සලසයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් කටයුතු කරනු ලබයි.