Body

ඩයලොග් ආසිආටා මාධ්‍ය ආයතන සමඟ එක්ව දිස්ත්‍රික්ක රැසක ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදෙයි

19 අප්‍රේල් 2020         කොළඹ

 

news-1

සිය සමාජ වගකීම ඉටුකිරීමට ස්ථිරව නැගී සිටින ආයතනික පුරවැසියෙකු වශයෙන් මෙම අභියෝගාත්මක කාලසීමාවේදී ශ්‍රී ලාංකිකයන්ට සහායවීම සඳහා සිය ප්‍රජා සේවාවන් ඉදිරියට ගෙනයන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී දිස්ත්‍රික්ක රැසක පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මනුසත් දෙරණ, සියත ළෙන්ගතුකම, ITN මනුෂ්‍යත්වයේ සත්කාරය සහ වසන්තම් TV/FM මනිදනේයප්පනි සහන වැඩසටහන් සමඟ අත්වැල් බැඳගන්නා ලදී.

අප්‍රේල් 16 වෙනිදා වන විට ‘මනුසත් දෙරණ සමඟ ඩයලොග්’, ‘සියත ළෙන්ගතුකම සමඟ ඩයලොග්’, ‘ITN මනුෂ්‍යත්වයේ සත්කාරය සමඟ ඩයලොග්’ සහ ‘වසන්තම් TV/FM මනිදනේයප්පනි සමඟ ඩයලොග්’ සහන වැඩසටහන් හරහා දිවයිනේ දිස්ත්‍රික්ක 13 කට අයත් ගම්මාන 270 ක පීඩාවට පත් 73,232 ක පිරිසකට වි‍යළි ආහාර මළු බෙදාදීම සිදුකෙරුණු අතර, පවතින වත්මන් තත්වය හේතුවෙන් සිය අත්‍යවශ්‍ය මූලික ආහාර අවශ්‍යතා සපුරාගනීමට අපහසු පවුල්වලට ඉදිරියේදීත් සහන සැලසීමට අපේක්ෂා කරයි. මෙම සහන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඩයලොග් ආයතනයෙන් රු. මිලියන 50 ක සමස්ත වටිනාකමකින් යුත් දායකත්වයක් ලබාදී තිබේ. වියළි ආහාර ද්‍රව්‍ය සහිත මළු බෙදාදීම සඳහා පොලීසිය ඇතුළු ආගමික නායකයන්ගේත්, ඩයලොග්, දෙරණ, සියත, ITN සහ වසන්තම් හි නියෝජිතයන්ගේත් සහයෝගය ඇතිව සිදුකෙරේ.

මෙම අවිනිශ්චිත කාලසීමාව තුළ ඩයලොග් විසින් දිවයිනේ රෝහල් 20 කට Tele Medicine උපකරණ 27 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී ඇති අතර, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් පවත්වාගෙන යනු ලබන සියලුම නිරෝධායන මධ්‍යස්ථාන වෙත නොමිලේ WiFi සහ ඩයලොග් ටෙලිවිෂන් සේවාවන් ලබාදීමටත්, IDH රෝහල වෙත video conference පහසුකම් හා ජංගම උපාංග ලබාදීමටත්,නොමිලේ අන්තර්ජාල සම්බන්ධතා සඳහා කඩිනමින් අවශ්‍ය විසඳුම් සැපයීමටත්,අත්‍යවශ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරණ (PPE) කට්ටල කළුබෝවිල සහ මීගමුව රෝහල් වෙත ප්‍රදානය කිරීමටත්, ජාතික දුරස්ථ මනෝ - සමාජීය සහන සේවාව (RNPSSS) ස්ථාපිත කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ජංගම දුරකතන සම්බන්ධතා සහ නොමිලේ handsets ලබාදීමටත් කටයුතු කර ඇත.

මෙම පරිත්‍යාගය ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් දැනටමත් ක්‍රියාත්මක කරන බොහෝ මූලාරම්භයන් අතර තවත් එක් මූලාරම්භයක් වන අතර, ශ්‍රී ලංකාව තුළ Covid – 19 වෛරසයට එරෙහිව ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන උත්සාහයන්ට සහායවීමක් වශයෙන් සැලකිය හැකිය. මීට අමතරව ශ්‍රී ලාංකිකයන්ට නිවසේ සිට සුරක්ෂිතව, නිරතුරුව සම්බන්ධවිය හැකි බවට සහතිකවීම සඳහා දරන උත්සාහයේ කොටසක් ලෙස මිලියන 15 කට අධික පාරිභෝගිකයන්ට සහ මහජනතාවට e-Connect, e-Learn, e-Health, e-Tainment, e-Care සහ e-Work solution (www.dialog.lk/home ඔස්සේ පිවිසිය හැක) වැනි පහසුකම් රැසක් සලසාදීමටද පියවර ගෙන ඇත.