பொருள் விரிவாக்கம்

ඩයලොග් ආසිආටා සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජන ගිවිසුමක් අත්සන් කරයි

19 පෙබරවාරි 2020         කොළඹ

 

news-1

ජායාරූපයේ වමේ සිට දකුණට අසුන්ගෙන - ඩයලොග් ආසිආටා පීඑල්සී හි සභාපති ඩතුක් අසාත් කමලූදින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ /සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සී. මලල්ගොඩ මහත්මිය.

ජායාරූපයේ වමේ සිට දකුණට සිටගෙන - ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් ගරු. ටැන් යැං තායි, බර්හාඩ් ආසිආටා සමූහයේ විධායක අධ්‍යක්ෂ, නියෝජ්‍ය සමූහ ප්‍රධාන විධායක නිලධාරි සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරි ඩාටෝ මොහොමඩ් ඉසඩීන් ඉඩ්රිස්, බර්හාඩ් ආසිආටා සමූහයේ බර්හාඩ් ආසිආටා සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ / සභාපති සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ටෑන් ශ්‍රී ජමාලුඩීන්, බර්හාඩ් ආසිආටා සමූහයේ ප්‍රධාන විධායක - විදුලි සංදේශ ව්‍යාපාර සහ ආයතනික විධායක උප සභාපති, ආචාර්ය හාන්ස් විජේසූරිය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ සමාගම් ලේකම්, විරන්ති ආටිගල මිය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන විශාලතම විදේශ ඍජු ආයෝජකයා (FDI) ඩයලොග් ආසිආටා සමූහය, ආයෝජන මණ්ඩලය සමඟ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් වෙත තවත් ඇමරිකානු ඩොලර් මිලියන 254.1 (රු. බිලියන 46.1) ක් ආයෝජනය කිරීම සඳහා අතිරේක ගිවිසුම් දෙකකට 2020 පෙබරවාරි 14 වන සිකුරාදා එළැඹුණු බව මෙසේ නිවේදනය කරයි.

මෙම ආයෝජනය ඩයලොග් ආසිආටා පීඑල්සී වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 190.7 කින් සහ එහි අනුබද්ධ ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් (පුද්ගලික) සමාගම වෙතින් ආයෝජනය වන ඇමරිකානු ඩොලර් මිලියන 63.4 කින් සමන්විත වේ. ඩයලොග් ආසිආටා සමූහය මෙම ගිවිසුම් මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පුළුල් දායකත්වයක් ලබා දෙයි. ඊට ජංගම හා ස්ථාවර 4G-LTE ජාල පුළුල් කිරීම, IP සහ ෆයිබර් ජාලවල විකාශනය සහ සමූහයේ වයි-ෆයි සහ බ්‍රෝඩ්බෑන්ඩ් ජාල තවදුරටත් සංවර්ධනය කිරීම යනාදිය ඇතුළත් වේ. 5G සම්බන්ධතාවය යෙදවීම තුළින් ආර්ථීකයට සැලකිය යුතු ප්‍රතිලාභ ලබාදීමට ද මෙම ආයෝජනය සැලසුම් කර ඇති අතර එමඟින් 5G තාක්ෂණයේ පුරෝගාමියෙකු ලෙස ශ්‍රී ලංකාව, ලොව නම රඳවනු ඇත. මෙමගින් සබ්මැරීන් කේබල් හා ගොඩබෑමේ ස්ථානය සංවර්ධනය කරමින් වඩාත් විශ්වාසදායක හා ලාභදායී අන්තර්ජාල සම්බන්ධතාවයන් ලබා දෙනු ඇත.

ඩයලොග් ආසිආටා පීඑල්සී සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමට ඩයලොග් ආසිආටා පීඑල්සී හි සභාපති ඩතුක් අසාත් කමලූදින්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක යන මහත්වරුන් අත්සන් තැබූ අතර, ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් (පුද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමට ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ සුපුන් වීරසිංහ මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ සමාගම් ලේකම් විරන්ති ආටිගල මහත්මිය, සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා අත්සන් තබනු ලැබීය.

ඩයලොග් ආසිආටා සමූහය යනු මැලේසියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, කාම්බෝජය, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ ඉන්දියාව ඇතුළු රටවල් 8 ක් පුරා ක්‍රියාත්මක වන ආසියාවේ දෙවන විශාලතම දුරකථන සේවා සම්පාදක සමාගම වන බර්හාඩ් ආසිආටා සමූහයේ අනුබද්ධ සමූහායතනයකි. ආසිආටා සමූහය 1994 සිටම ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආයෝජකයෙකි.

මෙරට විශාලතම සෘජු විදේශ ආයෝජනය ලෙස ඩයලොග් ආසිආටා සමූහය 1994 සිට ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ක (රු. බිලියන 320 ක) දායකත්වයක් ලබා දී ඇති අතර, එම ආයෝජනය රටේ මුළු සෘජු විදේශ ආයෝජන වලින් 11% කි. ඒ අනුව, ඇමරිකානු ඩොලර් බිලියන 1 ක් රට තුළ ආයෝජනය කළ පළමු සමාගම ලෙස එය ආයෝජන මණ්ඩලය විසින් පිළිගෙන තිබේ.

"ආයෝජන මණ්ඩලය සමඟ ඇති අපගේ හවුල්කාරිත්වය අපිට බොහොම වටිනා දෙයක්. ඔවුන් සම`ග අද මෙම ගිවිසුමට එළඹීමට ලැබීම අපට ගෞරවයක්. 1994 සිටම මෙරට විශාලතම විදේශ සෘජු ආයෝජකයා වශයෙන් තවදුරටත් කරනු ලබන නැවුම් ආයෝජනයන් මගින් ආසිආටා සමූහය ශ්‍රී ලංකාව සහ මෙරට ජනතාව කෙරෙහි දක්වන උත්කෘෂ්ට සේවය තවත් ඉස්මතු කරවනවා." බර්හාඩ් ආසිආටා සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ / සභාපති සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ටෑන් ශ්‍රී ජමාලූදින් ඊබ්‍රාහිම් මහතා පැවසීය.

"දේශීය ටෙලිකොම් ක්ෂේත්‍රය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිඛෙනවා. ශ්‍රී ලංකාව කලාපයේ බොහෝ රටවලට වඩා ඉදිරියෙන් සිටිනවා. ඩයලොග් ආසිආටා මෙරට විශාලතම විදේශ ආයෝජකයා ලෙස මෙම වර්ධනයේ ප්‍රධාන ගාමක බලවේගයක් වන අතර තාක්ෂණය හා යටිතල පහසුකම්වල දියුණුව සහතික කරන තවත් පියවරක් මෙසේ තබන්නට ලැබීම අපිට මහත් සතුටක්" ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා පැවසීය.