பொருள் விரிவாக்கம்

ඩයලොග් ආසිආටා අඛණ්ඩව පස්වෙනි වරටත් 86 වෙනි 'ශාන්තුවරයන්ගේ සටන' බලගන්වයි

2020 පෙබරවාරි 11         Colombo

 

news-1

ඡායාරූපය (වමේ සිට දකුණට) ඒකාබද්ධ සංවිධායක කමිටු සාමාජික සහ ශාන්ත පීතර විදුහල නියෝජනය කරමින් මයිකල් එලායස්, ශාන්ත පීතර විදුහලේ ක්‍රීඩා සම්බන්ධීකාරක ගරු. මිලාන් බර්නාඩ් පියතුමා, ශාන්ත ජෝසප් විදුහලේ විදුහල්පති ගරු. රංජිත් අන්ද්‍රාදි පියතුමා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ප්‍රධාන නීති උපදේශක / උප සභාපති - සමූහ නෛතික හා නියාමන ට්‍රිනේෂ් ප්‍රනාන්දු, ශාන්ත පීතර විදුහලේ විදුහල්පති ගරු. රෝහිත රොද්‍රිගු පියතුමා, ශාන්ත ජෝසප් විදුහලේ ක්‍රීඩා භාර ගරු. ප්‍රියාන් තිසේරා පියතුමා, ශාන්ත ජෝසප් විදුහලේ කණ්ඩායම් නායක ජොහාන් ඩි සිල්වා සහ ඒකාබද්ධ සංවිධායක කමිටු සාමාජික ටෙරන්ස් ප්‍රනාන්දු.

මෙරට ප්‍රමුඛතම කතෝලික පාසල් දෙකක් වන මරදාන ශාන්ත ජෝසප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර 'මොරිස් ජේ. ලෙගෝ පියතුමන්' කුසලානය වෙනුවෙන් 86 වෙනි වරට පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම මාර්තු 6 සහ 7 දෙදින කොළඹ පී සරා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

දැඩි උද්‍යෝගයෙන් පිරි, තරගකාරී ක්‍රිකට් සංග්‍රාමයක් වශයෙන් ප්‍රකට මෙම 'ශාන්තුවරයන්ගේ සටන', පළමු ඉනිම සඳහා කණ්ඩායම් දෙක පන්දුවාර 60 බැගින් වූ ඉනිමකට සීමාකර වාර්ෂිකව දින දෙකක් පුරා පැවැත්වෙන එකම පාසල් ක්‍රිකට් තරගයයි. 2020 වසරේ පැවැත්වෙන මෙම දෙවිදුහල් අතර මහා ක්‍රිකට් තරගයේදී මරදාන ශාන්ත ජෝසප් විදුහල් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන දස්කම් දක්වන ජොහාන් ඩි සිල්වායි. දක්ෂ කඩුළු රකින්නෙකු සහ පිතිකරුවෙකු වන ශැනොන් ප්‍රනාන්දු ශාන්ත පීතර විදුහලේ කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කරයි.

මේ වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේදී 86 වෙනි වරට පැවැත්වෙන 'ශාන්තුවරයන්ගේ සටනේ' සත්කාරක පාසල වන ශාන්ත ජෝසප් හි විදුහල්පති, ගරු රංජිත් අන්ද්‍රාදි පියතුමන් අදහස් දක්වමින් “ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කතෝලික පාසල් දෙකක් අතර මොරිස් ජේ. ලෙගෝ පියතුමන් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන දැඩි උද්වේගකර සහ මිත්‍රශීලී ක්‍රිකට් ගැටුම මෙරට ක්‍රීඩා දින දසුනේ යොවුන් සහ වැඩිහිටි දෙ අංශයේම වැඩිම අවධානය දිනාගත් ප්‍රකට ක්‍රිකට් තරගයක්. කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයන්ට මා මගේ ආශිර්වාදය පිරිනමනවා.” ශාන්ත පීතර විදුහල්පති, ගරු රෝහිත රොද්‍රිගු පියතුමන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වමින් “ශාන්ත ජෝසප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන මෙම මහා ක්‍රිකට් තරගයට දශක අටක් පුරා විහිදෙන දීර්ඝ මෙන්ම පොහොසත් ඉතිහාසයක් තිබෙනවා. 'ශාන්තුවරයන්ගේ සටන' හරහා පැවති තරග ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම තලය නියෝජනය කරන්නට සමත්වෙමින් ලක්මවට ආඩම්බරයක් ගෙනදීමට සමත්වූ සුපිරි ක්‍රීඩකයින් රැසක් බිහිකිරීමට සමත්ව තිබෙනවා. එමෙන්ම මෙම පාසල් දෙක අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය අවිවාදයෙන්ම මෙවරත් මෙරට පාසල් ක්‍රිකට් දින දසුනේ වැඩිම අවධානයක් දිනාගත් තරග ඉසව්වක් බවට පත්වෙනු නොඅනුමානයි. දින දෙකක් පුරාවට විශිෂ්ට ක්‍රිකට් අත්දැකීමක් ලබාදීමට හැකියාව ලැබේවායි පතමින් කණ්ඩායම් දෙකට මාගේ සුබාසිංශනය පිරිනමනවා.”

“86 වෙනි වාර්ෂික ශාන්තුවරයින්ගේ සටනට අනුග්‍රහය දැක්වීම සඳහා නොපැකිළිව ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ඩයලොග් ආසිආටා සමාගමේ කළමනාකාරිත්වයට අපගේ ස්තුතිය හිමිවනවා.” යනුවෙන් විදුහල් දෙකෙහි අදියුරු පියතුමන් පවසා සිටියහ. මෙම මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ ජයග්‍රහණ 12ක් වාර්තා කරමින්, කොළඹ 10 ශාන්ත ජෝසප් විදුහල ප්‍රතිඵල අතින් ඉදිරියෙන් සිටින අතර ඔවුන්ගේ අවසන් ජයග්‍රහණය 2008 වසරේදී රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්වය යටතේ දිනාගනු ලැබිණි. ශාන්තුවරයින්ගේ සටනේ වඩාත් මෑතක ලැබූ ජයට හිමිකම් කියමින් 2016 වසරේදී ඉතිහාසයේ සිය 10 වැනි ජය වාර්තා කිරීමට විනූ මොහොට්ටිගේ නායකත්වය යටතේ ශාන්ත පීතර පිළට හැකිවූ අතර ඒ අනුව මේ වන විට 'මොරිස් ජේ.ලෙගෝ පියතුමන්' කුසලාන ශාන්ත පීතර විදුහල සතුව පවතී.

සැවොම මහත් අපේක්ෂාවෙන් බලා සිටින විදුහල් දෙක අතර පැවැත්වීමට නියමිත වාර්ෂික එක්දින තරගය 1975 දක්වා ඈතට දිවෙන ඉතිහාසයකට හිමිකම් කියන අතර, විදුහල් දෙකක් අතර පැවති පළමු එක්දින තරගය එයයි. එමෙන්ම මෙම තරගය විදුහලක පන්දු වාර 50 තරගයක් නැරඹීම සඳහා පැමිණෙන ඉහළම ප්‍රේක්ෂක පිරිසද වාර්තා කිරීමට සමත්ව ඇත. මෙම වර්ෂය සඳහාද තරග සංවිධායකවරු ඉහත අපේක්ෂාවෙන්ම පසුවන අතර, විනෝදනයෙන් පිරි අමතක නොවන තරග අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබාදීම සඳහා ඔවුහු යුහුසුළුව ක්‍රියාත්මක වෙති. මේ වසරේ 1990 ට පෙර පාසල් දිවියට සමුදුන් ආදි ශිෂ්‍යයන් තරගය නැරඹීම සඳහා විශේෂ ස්ථානයක් සූදානම් කිරීමට 'ශාන්තුවරයන්ගේ සටනේ' සංවිධායක කමිටුව කටයුතු කර තිබෙනවා. හැටන් නැෂනල් බැංකුව (HNB), American National College (ANC), සෙලින්කෝ ලයිෆ්, එලිෆන්ට් හවුස්, කීල්ස් ක්‍රෙස්ට්, මැගී, සිලෝන් බිස්කට් සමාගම, ජෙට්විං හෝටල්, daraz, Privilege Fashion සහ Sun FM මෙම තරගයට අනුග්‍රාහකත්වය දක්වමින් සහායවීම සඳහා පෙරමුණට පැමිණ තිබේ.

1981වසරේදී ශාන්ත ජෝසප් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ නිර්මලාල් පෙරේරා 86 වෙනි 'ශාන්තුවරයන්ගේ සටනේ' ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන අතර, 1994 වසරේ ශාන්ත පීතර කණ්ඩායමට නායකත්වය දුන් ඩේමියන් පෙරේරා මහතා එක්දින තරගය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවීමට නියමිතයි. මීට අමතරව 1970 දී ශාන්ත ජෝසප් කණ්ඩායමට නායකත්වය දුන් හෙක්ටර් පෙරේරා සහ ශාන්ත පීතර කණ්ඩායමට නායකත්වය දුන් රෝරි ඉන්මන් 86 වෙනි 'ශාන්තුවරයන්ගේ සටනේ' ගෞරවනීය ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගි වේ.

මෙම විදුහල් දෙක මගින් ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් රැසක් බිහිකර ඇති අතර වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, චමින්ද වාස්, තිසර පෙරේරා, ඇෂ්ලි ද සිල්වා, මයිකල් වැන්ඩොට්, රොශේන් සිල්වා, ප්‍රියමාල් පෙරේරා සහ සදීර සමරවික්‍රම ශාන්ත ජෝසප් විදුහලෙන්ද, රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, රසල් ආනල්ඩ්, විනෝදන් ජෝන්, අමල් සිල්වා, කෞෂාල් ලොකුආරච්චි, මලින්ද වර්ණපුර සහ ඇන්ජලෝ පෙරේරා ශාන්ත පීතර විදුහලෙන්ද ජාතික කණ්ඩායමට එක්වූවෝ වෙති.