பொருள் விரிவாக்கம்

Dialog සහ JKOA අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජංගම දුරකතන පාරි‌භෝගිකයින් වෙත 4G සම්බන්ධතාවය පුළුල් කරයි

2026 ඔක්තෝබර් 02         කොළඹ

 

වමේ සිට: JKOA හි ජංගම දුරකතන අංශයේ ප්‍රධානී සහ John Keells Holdings PLC හි සහකාර උප සභාපති ප්‍රසන්න වීරකෝන් මහතා, JKOA හි ප්‍රධාන විධායක නිලධාරී සහ John Keells Holdings PLC හි ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනෝද තෝරදෙණිය මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජංගම දුරකතන ව්‍යාපාර අංශයේ ප්‍රධානී යුෂාන් ගුණතිලක මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ආයතනික සැලසුම්, උපාය මාර්ග සහ වර්ධන අංශයේ ප්‍රධානී ශිරෝමි අලි මෙනෙවිය, John Keells Holdings PLC හි රීටේල් අංශයේ සභාපති චරිත සුබසිංහ මහතා සමඟ ඩයලොග් ආසිආටා පීඑල්සී හි උපාංග ව්‍යාපාර අංශයේ ප්‍රධානී දේශාන් විජේවීර මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, John Keells Holdings අනුබද්ධ, John Keells Office Automation (JKOA) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජංගම දුරකතන (Button phone) පාරිභෝගිකයින්ට 4G සම්බන්ධතාවය හා පහසුවෙන් එක්විය හැකි, the JKOA Classic 4G හඳුන්වා දී තිබේ. ඒ අනුව, ස්මාර්ට් ජංගම දුරකතන වෙනුවට, සරල විශේෂාංගවලින් සමන්විත සාමාන්‍ය ජංගම දුරකතනවලට කැමැත්තක් දක්වන පාරිභෝගිකයින්ට, 4G ජංගම දුරකතන පහසු මිලට ලබාගැනීමට හැකියාව සලසන මෙම සහයෝගිතාවයෙන්, මෙතෙක් ඔවුන්ට හුරුපුරුදු සාමාන්‍ය ජංගම දුරකතනයකින්, මීළඟ පරම්පරාවේ අධිවේගී සම්බන්ධතා හැකියාවන් සමඟින් එක්විය හැකි වේ.

පසුගිය සැප්තැම්බර් 7 වැනිදා Courtyard by Marriott Colombo හිදී, “Powering Tomorrow Together” යන තේමාව යටතේ අලෙවි නියෝජිත හමුවට සමගාමීව එළිදකින ලද මෙම සාමාන්‍ය ජංගම දුරකතනය, පාරිභෝගිකයින්ට හුරුපුරුදු සරල බව සමඟින් 4G සම්බන්ධතාවය එක්කරමින් රු. 7,990 ක මිලකට වෙළෙඳ පොළ වෙත පිරිනමන නිෂ්පාදනයකි. එමෙන්ම, අඟල් 1.77 ක සංයුක්ත තිරය, දිර්ඝ බැටරි කාලයක් සහිත 1,000mAh බැටරිය සමඟින්, සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ටයිප් කිරීමේ පහසුකමද පිරිනමන ජංගම දුරකතනයක් වන මෙහි FM රේඩියෝව සහ අභ්‍යන්තර torch පහසුකමද ඇතුළත් අතර, 16MB – 16MB Internal Memory ධාරිතාවයෙන්ද යුක්ත වේ. මෙම නවතම ජංගම දුරකතනය පාරිභෝගිකයින්ට චාජරයක් හා Type-C කේබල් පහසුකමද සමඟින් ලබාගත හැකි අතර, ඩයලොග් පාරිභෝගිකයින්ට හිමිවන දීමනාවක් ලෙසින්, මාස 3 ක් පුරා ඕනෑම ජාලයක් සඳහා විනාඩි 250 ක ඇමතුම් කාලයක්ද හිමි වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීනී ලිම් ලී සාන් මහත්මිය මෙලෙස සඳහන් කළාය. "ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන ක්ෂේත්‍රය අඛණ්ඩව දියුණු වන පසුබිමක, අපගේ ප්‍රධාන අරමුණ, නවතම තාක්ෂණයේ ප්‍රතිලාභ ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසකට පහසුවෙන් සමීප කිරීමයි. පාරිභෝගිකයින් 4G සම්බන්ධතාවයට මාරුවීම, හුදෙක් ජාල වෙනසක් පමණක් නොවෙයි. අපගේ පාරිභෝගිකයින්ට, වඩාත් ප්‍රායෝගික මෙන්ම ඔවුන්ට ගැළපෙන ක්‍රම ඔස්සේ, 4G තාක්ෂණය වැළඳ ගැනීමට හැකියාව සැලසීමයි. සාමාන්‍ය ජංගම දුරකතන පාරිභෝගිකයින් 4G සම්බන්ධතාව සමඟින් එක්වීමේ අඩුව මඟහරවමින් JKOA සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය තුළින්, ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසකට, ඩිජිටල් ප්‍රගතියේ ප්‍රතිලාභ අත්විඳීමට මග පෑදෙනවා.”

ඩයලොග් හි සන්නිවේදන හැකියාවන් සමඟින් ජංගම දුරකත තාක්ෂණය පිළිබඳ JKOA හි විශේෂඥ දැනුම ඒකාබද්ධ කරන මෙම සහයෝගිතාවයෙන්, මෙතෙක් ස්මාර්ට් ජංගම දුරකතනවලට සීමා වුණු 4G සම්බන්ධතාව දැන්, එම සීමා මායිම් බිඳ විහිදී තිබේ. මෙම සහයෝගිතාවයේ ප්‍රතිඵලයක් ලෙස එළි දකින ලද නවතම ජංගම දුරකතනයෙන්, සාමාන්‍ය ජංගම දුරකතනවලට හුරුපුරුදු පාරිභෝගිකයින්ට 4G සම්බන්ධතාවයට එක්වීම සඳහා පැවති අවශ්‍යතාව සපුරාලනු ලබයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ සන්නිවේදන පහසුකම් සමඟින් සියලු ශ්‍රී ලාංකිකයින් ඇතුළත් කරගැනෙන, තාක්ෂණික ප්‍රගමනයකට මෙයින් ඉඩකඩ සැලසේ.

නවතම KOA Classic 4G දුරකතනය දැන් දිවයින පුරා පිහිටි JKOA ප්‍රදර්ශනාගාරවලින් සහ බලයලත් අලෙවි නියෝජිතයින් වෙතින් දිවයින පුරාම පාරිභෝගිකයින්ට පහසුවෙන් ලබාගත හැක.