பொருள் விரிவாக்கம்

ඩයලොග් සහ රුහුණු සංචාරක කාර්යාංශය එක්ව, සංචාරක ක්ෂේත්‍රයට සහය වෙමින්, Dialog AI මඟින් බලගැන්වෙන, 'Travel Sri Lanka' සේවාව හඳුන්වාදෙයි

011 778 8288 අංකය ඇමතීමෙන්, සංචාරකයින්ට බහුභාෂා AI සංචාරක සහය ලබාගත හැක

2026 ඔක්තෝබර් 08         කොළඹ

 

වමේ සිට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ තිරසාරත්වය අංශයේ ඩිජිටල් නවෝත්පාදන හා අන්තර්කරණ කළමනාකරු තරුෂ වනිගසේකර, සමූහ තිරසාරත්වය අංශයේ සමාජ නවෝත්පාදන ජ්‍යෙෂ්ඨ කළමනාකරු අසිත් ද සිල්වා, සමූහ ප්‍රධාන ආයතනික නිලධාරි අසංග ප්‍රියදර්ශන, අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත්, දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සුරංජිත් වෑවිට, රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයන් ගොඩකන්ද යන මහත්වරුන් ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය, රුහුණු සංචාරක කාර්යාංශය හා එක්ව, දෙස් විදෙස් සංචාරකයින්ට වඩාත් පහසුවෙන් තොරතුරු ලබාගැනීමේ හැකියාව සැලසීමේ අරමුණෙන්, Dialog AI මඟින් බලගන්වන ලද බහුභාෂා සංචාරක voice සේවාව, Travel Sri Lanka සේවාව නිල වශයෙන් එළිදක්වන ලදී. ජාත්‍යන්තර භාෂා 12කට අධික සංඛ්‍යාවකින් සංචාරකයින්ට සහය සලසන මෙම නවතම සේවාව වෙත පිවිසීමට, මොබයිල් App හෝ අන්තර්ජාල සම්බන්ධතාවක් අවශ්‍ය නොවන අතර, සාමාන්‍ය දුරකතන ඇමතුමකින් පමණක් සම්බන්ධ වීමෙන් අවශ්‍ය තොරතුරු හා සහය ලබාගත හැක.

Dialog හි AI තාක්ෂණික හැකියාවන් සමඟින්, රුහුණු සංචාරක කාර්යාංශයේ සංචාරක තොරතුරු හා ගමනාන්ත පිළිබඳ විශේෂඥ දැනුම ඒකාබදධ කෙරුණු Travel Sri Lanka සේවාව, දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කරන ලදී. ඒ, දකුණු පළාත් ගරු ආණ්ඩුකාර, සුසිරිපාල මානවඩු මහතාගේ මඟ පෙන්වීම යටතේ රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයන් ගොඩකන්ද මහතාගේ සහයෝගයද ඇතිවය. එලෙස අභිනවයෙන් එළිදක්වන ලද මෙම සේවාව, ඉදිරි මාස කිහිපය ඇතුළත දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, සංචාරකයින්ට සතියේ දින 7 පුරාම, පැය 24 පුරා මෙම සේවාවෙන්, සංචාරක ගමනාන්ත, ගමන් සැලසුම්, ආකර්ෂණීය ස්ථාන, ප්‍රවාහන පහසුකම්, ආරක්ෂාව හා අත්‍යවශ්‍ය සේවාවන්ට අදාළ තොරතුරු සහ සහය ලබාගත හැක. එමෙන්ම, ඔවුන්ට මෙම සේවාව උපයෝගී කරගනිමින්, ප්‍රාදේශීය සංචාරක සේවා සපයන ආයතන හා පහසුවෙන් සම්බන්ධ වීමටද හැක.

ලෝක සංචාරක දිනය නිමිත්තෙන්, ගාල්ලේ පැවති, Ruhunu NextGen Tourism 2026 උළෙලට සමගාමීව, Travel Sri Lanka සේවාව නිල වශයෙන් එළිදැක්වීම සිදුකෙරුණේ, රජයේ නියෝජිතයන්, සංචාරක ක්ෂේත්‍රයේ ආයතන සංචාරක අධ්‍යාපනික ආයතන, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්ගේද සහභාගිත්වය ඇතිවය. එම අවස්ථාව, නවෝත්පාදන සහ AI තාක්ෂණික හැකියාවන් පිරි, ශ්‍රී ලාංකීය අනාගත සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව සාකච්ඡාවන්ටද වේදිකාව සැපයීය.

මෙම නවතම සේවාව පිළිබඳව අදහස් දැක්වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා මෙසේ සඳහන් කළේය. “ලොව ප්‍රමුඛපෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ නාමය තවදුරටත් ශක්තිමත් වෙමින් තිබෙන කාලයක, සංචාරකයන්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීමට, ඩිජිටල් නවෝත්පාදන මඟින් ඉටුකර ගැනීමට ඇති කාර්යභාරය දිනෙන් දින වැඩිවෙමින් තිබෙනවා. Travel Sri Lanka, සංචාරකයින්ට වඩාත් පහසුවෙන් තොරතුරු ලබාගැනීමටත්, විවිධ භාෂාවලින් සහය වීමටත් AI තාක්ෂණය යොදාගත හැකි ආකාරය පිළිබඳ කාලෝචිත නිදසුනක්. රට පුරා සංචාරය කරන පිරිසට විශ්වාසදායක තොරතුරු වඩාත් පහසුවෙන් ලබාදීමට, තාක්ෂණය උපයෝගී කරගත හැකි ආකාරය පෙන්නුම් කරමින් මෙවැනි සහයෝගිතාවයක් ඇතිකර ගැනීම වෙනුවෙන්, ඩයලොග් සහ රුහුණු සංචාරක කාර්යාංශය වෙත මගේ ස්තුතිය පුද කිරීමට කැමතියි.”

ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය: “Travel Sri Lanka මඟින් පෙන්නුම් කරන්නේ, AI තාක්ෂණය දේශීයකරණය කරමින්, සැබෑ ලෝකයේ අවශ්‍යතා සපුරාලීමට යොදාගත හැකි ආකාරයයි. ඩයලොග් ආයතනයේ AI හැකියාවන් සහ රුහුණු සංචාරක කාර්යාංශයේ සංචාරක විශේෂඥතාව එක්කර, භාෂා ගැටලු ඉවත් කර සංචාරකයින්ට සහය වීමෙන්, ඔවුන්ට ශ්‍රී ලංකාව පිළිබඳව තොරතුරු අනාවරණය කරගනිමින්, අත්දැකීම් ලබාගැනීමට ඇති අවස්ථාවන් පුළුල් කිරීමට අපට හැකියාව ලැබෙනවා. ඉදිරියේදී මෙම සේවාව තවත් පුළුල් කිරීමට අපේක්ෂා කරන අපට, සංචාරක අත්දැකීම් තවදුරටත් සවිබල ගන්වමින්, ක්ෂේත්‍රයේ අවස්ථා විශාල වශයෙන් උදාකිරීමටත්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වීමටත් තාක්ෂණය සතු සුවිශාල හැකියාව, දකින්න පුළුවන්.”

Travel Sri Lanka සේවාව, ජනතාවට තොරතුරු හා සේවාවන් වෙත පිවිසීම සඳහා ඇති අඩුපාඩු මඟ හරවාලීම පිණිස, තාක්ෂණික විසඳුම් රටට ගැළපෙන සේ දේශීයකරණය කළ විසඳුම් බවට පත්කිරීමට ඩයලොග් ආයතනය දරන අඛණ්ඩ කැපවීමේ ප්‍රතිඵලයකි. Govi Mithuru AI, Sayuru AI සහ Yeheli AI වැනි සේවාවන් හරහා විවිධ ක්ෂේත්‍ර හා ප්‍රජාවන් වෙත ප්‍රායෝගික විසඳුම් ලබාදීමේ අරමුණෙන්, ඩිජිටල් සහ AI තාක්ෂණය යොදාගැනීමේ ඩයලොග් ආයතනයේ පුළුල් දැක්ම ඉන් විදහා දැක්වේ.

සංචාරකයින්ට පහසුවෙන් තොරතුරු ලබාගැනීමේ හැකියාව වැඩි කරමින්, මෙරට සංචාරයේ නිරත පිරිස, අදාළ ගමනාන්ත හා ප්‍රදේශීය සේවා සපයන ආයතන හා සම්බන්ධ කිරීමෙන්, ශ්‍රී ලංකාවේ සංචාරක ආර්ථිකය නංවාලීම උදෙසා, ව්‍යාපාර හා ප්‍රජාවන්ටද එක්වීමට Travel Sri Lanka ඔස්සේ දායක විය හැකිය. තවද, ඩිජිටල් යටිතල පහසුකම් උපයෝගී කරගනිමින්, තොරතුරු හා සේවාවන් වෙත පහසුවෙන් පිවිසීමේ හැකියාව වැඩි කරන මෙම නවතම සේවාව හරහා, ශ්‍රී ලාංකාව විසින් සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන තිරසාර සංවර්ධන ඉලක්ක (SDG)වලට අදාළ කර්මාන්ත, නවෝත්පාදන සහ යටිතල පහසුකම් පිළිබඳ වන, ඉලක්ක 9 ජයගැනීමටද හැකියාව සැලසේ.

011 778 8288 අංකය අමතා Travel Sri Lanka සේවාවට පිවිසිය හැකි අතර, දැනට දකුණු පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙසින් දියත් කර ඇති සේවාව, ඉදිරියේදී සංචාරකයින්ට සහය සලසමින් දිවයින පුරා දියත්වන පුළුල් සේවාවක් බවට පත්වනු ඇත.