Body

Dialog Innovation Challenge වැඩසටහනේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන ඉතිරි නවෝත්පාදකයින් පිරිස ප්‍රකාශයට පත් කරයි

අවසන් මහා තරගය ‌මේ සෙනසුරාදා

2024 සැප්තැම්බර් 04         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

Dialog Innovation Challenge වැඩසටහනේ අවසන් වටයට මෙවර තේරුණු ජයග්‍රාහකයින්; ඉහළ පෙළ- Cubic, BabyChart, පහත පෙළ – Shop2Message, WattWise

ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරාම ජනතාව, ව්‍යාපාර හා සමාජය මුහුණ දෙන ගැටලුවලට සාර්ථක ඩිජිටල් විසඳුම් සෙවීමේ අරමුණ ඇතිව ක්‍රියාවට නැංවූ, Dialog Innovation Challenge මෙවර වැඩසටහනෙන්, අවසන් මහා තරගයට සුදුසුකම් ලබන ඉතිරි පිරිසද තෝරාගත් බව සතුටින් දැනුම් දෙයි. මෙරට දැවෙන ගැටලු සඳහා සාර්ථක ඩිජිටල් විසඳුම් ඉදිරිපත් කිරීමට රට පුරාම නවෝත්පාදකයින් බලගන්වමින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රගතිය සාක්ෂාත් කර ගැනීමට ඩයලොග් දක්වන කැපවීම විදහා දක්වමින් මෙම වැඩසටහන පැවැත්විණි.

මෙම වැඩසටහනෙන් ප්‍රේක්ෂකයින්‌ගේ ඉහළම අවධානයට පාත්‍රව අවසන් වටයට තෝරාගනු ලැබූ ඩිජිටල් නවෝත්පාදන අතරට, පාසල් ළමුන් සඳහා වන ප්‍රවාහන සේවාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින්, IoT-පාදක කරගත් මොබයිල් app එකක් වන Cubic, ළදරුවන්ගේ ශාරීරික හා මානසික වර්ධනය විමසා බැලීම සඳහා සාම්ප්‍රදායික සටහන් තැබීමේ ක්‍රමය වෙනුවට හඳුන්වා දුන් BabyChart හා කුඩා පරිමාණ ‌වෙළෙඳසල් සඳහා වැදගත් වන ණය දීම් කළමනාකරණය කිරීමට හා විධිමත් ලෙස වාරික ගෙවීමට ඉඩකඩ සලසන Shop2Message app එක ඇතුළත් වේ. එමෙන්ම, විදුලි පාරිභෝගිකයින්ට වඩාත් ඵලදායී ලෙස තම විදුලි භාවිතය කළමනාකරණය කරගැනීමට උපකාරී වෙමින් AI බලයෙන් ක්‍රියාත්මක වන WattWise නම් IOT system එකද ඉකුත් වැඩසටහන් අතරින් අවසන් වටයට සුදුසුකම් ලැබූ සාර්ථක නවෝත්පාදන අතරට ඇතුළත් විණි.

මෙවර තෝරාගනු ලැබූ නවෝත්පාදන, ඉකුත් වැඩසටහන්වලින් මුල්වරට තෝරාගනු ලැබූ ඩිජිටල් නවෝත්පාදන පහද සමගින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබයි. ඒ අනුව, පසුගිය වතාවේ තෝරාගත් ධීවර කලාප පිළිබඳ කල්තියා දැනගත හැකි AI තාක්ෂණයෙන් බලගැන්වූ SeaLanka app එක, නවාතැන් වෙන්කිරීම් හා කළමනාකරණ සම්බන්ධ ක්‍රමවේදයක් වන BODO, ස්නායුගත ශ්‍රවණාබාධයක් වන CAPD සඳහා සාර්ථක ඩිජිටල් විසඳුමක් වන AudiPhix app එක මෙන්ම, රූප සංවේදී අපස්මාර රෝග තත්ත්වයෙන් පීඩා විඳින්නන් සඳහා විසඳුමක් වන FlashGuard ස්මාර්ට් කණ්ණාඩි හා ඉස්සන් වගාකරුවන් සඳහා IoT පාදක කරගත් ඩිජිටල් විසඳුමක් වන Smart Aquaද අවසන් වටයට ඇතුළත් නවෝත්පාදන වෙයි. ශ්‍රී ලාංකික පුද්ගලයින්, ව්‍යාපාර හා ප්‍රජාව මුහුණ දෙන ගැටලුවලට සාර්ථක ඩිජිටල් විසඳුම් ලෙස මෙම ඩිජිටල් නවෝත්පාදන තෝරාගැනීම, ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් මගින් සිදුකෙරිණි. එම විනිශ්චය මණ්ඩලයට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ විධායක උප සභාපති සහ සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී ආචාර්ය රමේෂ් ෂන්මුගනාදන්, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ශෂී කණ්ඩම්බි, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සභාපතිනි ෂෙරින් කාදර්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනී සහ ඩයලොග් ෆිනෑන්ස් හි සභාපතිනි රේණුකා ප්‍රනාන්දු, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී අසේල පෙරේරා, සමාගමේ සමූහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී රංග කාරියවසම් සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ICT සහ Platforms Business හි ප්‍රධානී විරංග සෙනෙවිරත්න යන පිරිසෙන් සමන්විතය.

මෙම ඩිජිටල් නවෝත්පාදන අභියෝගය මගින්, ඩයලොග් හා අත්වැල් බැඳ ගත් ආයතනවල මෙහෙයවීමෙන් පවත්වනු ලබන වැඩමුළුවලින් මහඟු ප්‍රතිඵල අත්කර ගැනීමට, අවසන් වටයට තේරුණු නවෝත්පාදන ඉදිරිපත් කළ දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින්ට අවස්ථාව හිමි වේ. සිය නවෝත්පාදන වැඩි දියුණු කිරීමට දැනුම හා මාර්ගෝපදේශ සැපයෙන වැඩසටහනෙහි, අවසන් වටය සඳහා තේරී පත්වී සිටින දීප්තිමත්ම නවෝත්පාදකයින්ට රු. මිලියන 5 ක තෑගි සංචිතය විවෘත අතර, ඔවුන් වෙත DIF (ඩිජිටල් නවෝත්පාදන අරමුදල) මගින් ආයෝජන සහයද පිරිනැමේ. එපමණක් නොව, ඔවුන්ට Dialog Innovation Challenge හා අත්වැල් බැඳගත් සියලු පාර්ශවයන්හි සහය ලබාගැනිමේ මාහැඟි අවස්ථාවද උදා වේ.

ශ්‍රී ලංකාවේ දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින්ගේ පෙරළිකාර නවෝත්පාදන දස්කම් දැකගැනීම සඳහා ප්‍රේක්ෂක ඔබ පුලපුලා බලා සිටින Dialog Innovation Challenge වැඩසටහනේ අවසන් මහා තරගය, සැප්තැම්බර් 7 වැනි සෙනසුරාදා රාත්‍රී 10:30 ට TV Derana ඔස්සේ සහ සැප්තැම්බර් 8 වැනි ඉරිදා සවස 6:30 ට Dialog TV චැනල් One ඔස්සේ නරඹන්න! වැඩි විස්තර සඳහා https://ic.dialog.lk/ වෙත පිවිසෙන්න.