பொருள் விரிவாக்கம்

ඩයලොග් වෙතින්, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් රුපියල් මිලියන 420 ක දායකත්වයක්

2026 ජනවාරි 06         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

(වමේ සිට) : අග්‍රාමාත්‍ය කාර්යාලයේ, අතිරේක ලේකම් (සංවර්ධන) ඒ. බී. එම්. අෂ්රෆ් මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී අසංග ප්‍රියදර්ශන මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු එරංග වීරරත්න මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් (විශ්‍රාමික) මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ රට යළි ගොඩනැගීමේ කාර්යය වේගවත් කිරීමේ අරමුණෙන් රජයේ ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළ වෙනුවෙන් රුපියල් මිලියන 420 ක දායකත්වයක් ලබාදීමට පියවර ගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය මගින්, පැවැති අයහපත් කාලගුණ හා සුළි කුණාටු තත්ත්වයේ බලපෑමට ලක් වූ ප්‍රදේශවල සෞඛ්‍ය හා අධ්‍යාපන කටයුතු පෙර පරිදි ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය සහයෝගය ඩයලොග් වෙතින් පිරිනැමෙනු ඇත. ඒ අනුව, අදාළ බලධාරීන් හා එක්ව එම ප්‍රදේශවල බලපෑමට ලක් වූ රජයේ රෝහල්වල යටිතල පහසුකම් නඟා සිටුවීම මෙන්ම, හානි වූ පාසල්වල තොරතුරු තාක්ෂණ විද්‍යාගාර ප්‍රතිසංස්කරණය කිරීමද සිදුකෙරේ.

ඉකුත්දා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණු සාකච්ඡාවකදී, අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරියේ ඒ සඳහා නිල වශයෙන් එකඟතාවය පළ කෙරිණි. එම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද, ඩයලොග් සමාගමේ ඉහළ කළමනාකාරීත්වයද සහභාගී වූහ. පැවැති අභියෝගාත්මක කාල පරිච්ඡේදයෙන් අනතුරුව, රට යළි යථා තත්ත්වයට පත් වීමේදී, ජාතික ප්‍රමුඛතාවන්ට අනුකූල වන පරිදි, රජයේ යෝජිත අධ්‍යාපන සහ සෞඛ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශවය එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව එම සාකච්ඡාවේදී විශේෂයෙන් අවධානය යොමු කෙරිණි.

මෙම වැඩපිළිවෙල යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා අවධානය යොමු කරමින්, හලාවත දිස්ත්‍රික් මහ රෝහල, පුත්තලම මූලික රෝහල, කොත්මලේ සහ මඩුල්කැලේ ප්‍රාදේශීය රෝහල් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඩයලොග් සමාගම අදාළ අමාත්‍යාංශ සමඟ එක්ව කටයුතු කරනු ඇත. මීට අමතරව, අධ්‍යාපන අමාත්‍යාංශය හා සහයෝගයෙන්, සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ පාසල් 20ක පරිගණක විද්‍යාගාර ප්‍රතිසංස්කරණය කිරීම තුළින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසාද ඩයලොග් සමාගම දායක වනු ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ මෙසේයි. “මෙවැනි විශාල ස්වභාවික ව්‍යසනයකින් පසුව, රට යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවලට රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර පවතින සහයෝගීතාව ඉතාමත් වැදගත්. රටේ පොදු අවශ්‍යතාවන් හඳුනාගෙන කටයුතු කරන ඩයලොග් සමාගම, අත්‍යවශ්‍ය සේවාවන් යළි යථා තත්ත්වයට පත් කිරීමට දියත් කරන Rebuilding Sri Lanka වැඩසටහන සඳහා දායකත්වය දැක්වීම වෙනුවෙන් රජයේ ප්‍රශංසාව හිමි වෙනවා. මෙම ව්‍යාපෘතිය මගින්, ආපදාවට පත් ප්‍රදේශවල දරුවන් සඳහා ඩිජිටල් පහසුකම් යළි පිරිනමමින් ඔවුන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය සහතික කිරීමට පියවර ගැනීම පිළිබඳව මම ඉතාමත් සතුටට පත්වෙනවා. ඒ වගේම, පීඩාවට පත් ජනතාවට ඵලදායී, තිරසාර ප්‍රතිලාභ උදාකර දීමටත් මෙවැනි සහයෝගිතාවන් ඉතාමත් වැදගත්.”

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද මෙලෙස අදහස් පළ කළේය. "ආපදාවකින් පසුව, පීඩාවට පත් ජනතාවට අඛණ්ඩව සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සැලසීම අත්‍යවශ්‍ය කාර්යයක්. ඒ අනුව, බලපෑමට ලක්වූ රෝහල් ප්‍රතිසංස්කරණය කරමින්, ඩයලොග් සමාගම ලබාදෙන මෙම සහයෝගය, සමස්ත සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම උදෙසා දක්වන ඵලදායී දායකත්වයක්.”

මේ පිළිබඳව අදහස් දක්වමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා පැවසුවේ මෙවැන්නකි. "දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රට පුරා බොහෝ පිරිසකට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවුණා. අපි ‌මෙම සහයෝගිතාවය හරහා අවධානය යොමුකර තිබෙන්නේ, රජයේ ප්‍රමුඛතාවන්ට අනුකූලව, බලපෑමට ලක් වූ ප්‍රදේශවල රෝහල්වල අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට හා සිසුන්ගේ ඩිජිටල් අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් ලබාදී, රජයේ යළි ‌ගොඩනැඟීමේ කාර්යයන් සඳහා දායකත්වය ලබාදීමයි.”

දිට්වා සුළි කුණාටුව පැවති දිනවල සහ ඉන් අනතුරුවද ඩයලොග් සමාගම සිය පාරිභෝගිකයින් මිලියන 8 කට අධික පිරිසකට, නොමිලේ voice, SMS, mobile data සහ Home Broadband data සමගින් අඛණ්ඩ සම්බන්ධතාවය පවත්වා ගැනීමට හැකියාව ලබාදුන් අතර, ජනතාවට නිරන්තර තොරතුරු සමගින් දැනුවත්වී සිටීම සඳහා Dialog Television හි දේශීය නාලිකා හා ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකා නොමිලේ නැරඹීමේ අවස්ථාවද පිරිනමනු ලැබීය.

මෙම සුවිශේෂී දායකත්වය, අර්බුදකාරී තත්ත්වයන් හමුවේ රටත් ජනතාවත් යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ඩයලොග් සමාගම දශකයකට අධික කාලයක් තිස්සේ ඉටුකරන නොසැලෙන මෙහෙවරෙහි තවත් එක් පියවරකි. 2016-2017 වසරවල ඇති වූ මහ ගංවතුර සහ නායයෑම් තත්ත්වයන් හමුවේ අවතැන් වූ පවුල් වෙනුවෙන් ‘සෙනෙහෙ සියපත’ නිවාස වැඩසටහන තුළින් අරණායක, කොටපොළ හා ඇහැළියගොඩ ප්‍රදේශවල ජනතාවට සරණක් වීමටත්, 2019 පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් දරුවන්ට සහ පවුල්වලට Rally to Care අරමුදල හරහා දිගුකාලීන අධ්‍යාපනික හා මානසික සහනය සැලසීමටත් ඩයලොග් විසින් කටයුතු කරන ලදී. එමෙන්ම, COVID-19 වසංගතය හමුවේ රටේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා මීගමුව සහ හෝමාගම රෝහල්වල අංගසම්පූර්ණ දැඩි සත්කාර ඒකක පිහිටුවීමටද පියවර ගත් අතර, මැතකදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ, 'National Fuel Pass', ඉන්ධන බලපත්‍ර ක්‍රමය නිර්මාණය කර දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ඩයලොග් ආයතනයේ සහය හිමි විය. එම කාලවකවානුවේම, ‘මනුදම් මෙහෙවර’ හා අත්වැල් බැඳගනිමින් රට පුරා අඩු ආදායම්ලාභී පවුල්වල ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ඩයලොග් සහය ලබාදීමට සමත් විය.