பொருள் விரிவாக்கம்

ඩයලොග්, DeafTawk හරහා ශ්‍රවණාබාධ සහිත පුද්ගලයින්ට පාරිභෝගික මධ්‍යස්ථානවලදී සේවාවන් ලබාගැනීම වඩාත් පහසු කරයි

2024 ජූලි 18         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

ඡායාරූපය - ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසාර ප්‍රධානී සහ අවදානම් හා අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන, ශ්‍රී ලංකා බිහිරි පුනරුත්ථාපන සංවිධානයේ ලේකම් තුසිත කුමාර විජයරංග, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරිනි සැන්ඩ්‍රා ද සොයිසා, මානුෂීය නවෝත්පාදන සඳහා මොබයිල් (GSMA) සම්බන්ධ උපාය මාර්ගික හවුල්කාරිත්ව අධ්‍යක්ෂ දුලිප් තිලකරත්න සහ සංඥා භාෂා පරිවර්තක චාමර සඳකැළුම් සමග ඩයලොග් කණ්ඩායම ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ශ්‍රවණාබාධ සහිත ප්‍රජාවට සේවාවන් ලබාගැනිම වඩාත් පහසු කරමින්, දිවයින පුරාම ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථාන සඳහා DeafTawk සංඥා භාෂා පරිවර්තක සේවාව හඳුන්වා දෙයි. මෙය, ආබාධ සහිත පුද්ගලයින් (PWDs) වෙත වඩාත් පහසු ගැළපෙන සේවාවන් ලබාදීම වෙනුවෙන් ඩයලොග් සමාගමේ කැපවීම අවධාරණය කරමින් දියත් කෙරෙන සේවාවක් වේ. එමෙන්ම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ ජංගම තාක්ෂණ භාවිතය මෙන්ම, ඒ ආශ්‍රිත සේවාවන් සඳහා ප්‍රවේශ වීමේ හැකියාව ඉහළ නැංවීමෙන් ඩිජිටල්කරණය කරා මෙහෙයවන, GSMA හි Assistive Tech Programme, (සහායක තාක්ෂණික වැඩසටහන) ට අනුකූලවද මෙය ක්‍රියාවට නැංවේ.

ඒ අනුව, ශ්‍රවණ හා කථන ආබාධ සහිත පුද්ගලයන් සංඥා භාෂා පරිවර්තකයින් සමගින් සම්බන්ධ කරන ත්‍රෛභාෂා app එකක් ලෙසින් ක්‍රියාත්මක වන Deaftawk සේවාවේ තවත් පියවරක් වන මෙම සේවාවෙන්, දැන් ඩයලොග් මධ්‍යස්ථානවලදී ඔවුන් හට සේවාව ලබා ගැනීමේදී, පාරිභෝගික සේවා නියෝජිතයන් සමඟ පහසුවෙන් සම්බන්ධ විය හැකිය. ඩයලොග් වෙතින් සේවාවන් ලබාගැනීමට පැමි‌ණෙන ශ්‍රවණ ආබාධ සහිත පුද්ගලයින් පාරිභෝගික සේවා මධ්‍යස්ථානවලදී ඔවුන් සඳහාම වෙන්වූ පරිශ්‍රයකට යොමු කෙරෙන අතර, එහිදී ඔවුන්ට ලබාදෙන උපදෙස් සංඥා භාෂාවෙන් ප්‍රදර්ශනය කරනු ලබයි. ශ්‍රවණාබාධිත පුද්ගලයන් සමගින් සන්නිවේදනය කරන ඩයලොග් නියෝජිතයා Deaftawk app හරහා සංඥා භාෂා පරිවර්තකයෙකු සමඟ සම්බන්ධ වන අතර, ඒ අනුව, ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට කිසිදු අපහසුතාවයකින් තොරව සේවාව ලබාගත හැකි පරිදි, Deaftawk සේවාවෙන් පාර්ශව දෙක අතර මනා සන්නිවේදනයක් සඳහා පහසුකම් සලසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරිනී, සැන්ඩ්‍රා ද සොයිසා මෙලෙස සඳහන් කළාය. “ආබාධ සහිත පුද්ගලයින්ට අපගේ සේවාවන් ඔවුන්ට ගැළපෙන සහ වඩාත් පහසු කිරීමේ දීර්ඝකාලීන සැලසුම්වල දෙවැනි අදියර ලෙසින් මෙම සේවාව දියත් කිරීමට හැකිවීම අපට සතුටක්. දෘශ්‍යාබාධ ඇතුළු තවත් විවිධ ආබාධ සහිත පුද්ගලයින් සේවා‌ අවශ්‍යතා බාධාාවකින් තොරව සපුරාලීම සඳහා dialog.lk වෙබ් අඩවිය ප්‍රශස්ත ලෙස වැඩිදියුණු කිරීමෙන් පසුව, අපගේ සේවාවන් සමග Deaftawk ඒකාබද්ධ කර මෙලෙස සේවා පිරිනැමීම, තාක්ෂණය හරහා ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට ප්‍රවේශය සැලසීමට බලපාන සන්නිවේදන බාධා බිඳ දැමීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. Dialog අපි සෑම කටයුත්තකදීම, පාරිභෝගිකයින්ට හදවතින්ම සේවය සැලසීම සඳහා නොසැලෙන කැපවීමෙන් කටයුතු කරනවා.”

මෙම සේවාව පිළිබඳව ස්වකීය අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසාර ප්‍රධානී හා අවදානම් හා අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී, අසංග ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කළේ, “එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ අපගේ කැපවීම ශක්තිමත් කරමින්, සියලු දෙනා වෙත එක හා සමාන සේවයක් සැලසීමට නවීන තාක්ෂණය උපයෝගී කරගැනීම, ආචාර ධාර්මීය ලක්ෂණයක් විදිහට ඩයලොග් දිගින් දිගටම පවත්වාගෙන යන දෙයක්. මෙම නවතම පියවර, මෙහි තවත් එක් සුවිශේෂී ප්‍රයත්නයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ් අනුව සියලු දෙනාට ප්‍රවේශ විය හැකි, සමාන අවකාශයක් නිර්මාණය කරමින් ශ්‍රී ලාංකික ජීවිත සවිබල ගැන්වීමේ ගමන් මගේ දිගින් දිගටම නියැළීමට හැකි වීම අපට සතුටට කාරණයක්.” යනුවෙනි.

සමාගම විසින් ක්‍රියාවට නංවන සහායක තාක්‍ෂණ වැඩසටහන (Assistive Tech Programme) එහි තුන්වන අදියර කරා එළඹෙන විට, ආබාධ සහිත පුද්ගලයින් (PWDs) හට ඩයලොග් සේවාවන් වෙත ප්‍රවේශය තවත් පහසු වේ. ඒ, සියලු ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථාන හරහා සහායක තාක්‍ෂණය භාවිත කර ඔවුන් වෙත සේවාවන් සැලසීම සමාගමේ අරමුණ වන බැවිනි.