பொருள் விரிவாக்கம்

ඩයලොග් විසින් ටෝකියෝ යන ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම බලගන්වයි

ජූලි 29, 2021         කොළඹදී

 

news-1

ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී - සන්නාම හා මාධ්‍ය - හර්ෂ සමරනායක මහතා විසින් ටෝකියෝ පැරාලිම්පික් ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති කර්නල් දීපාල් හේරත් වෙත අනුග්‍රාහකත්වය පිරිනැමූ අවස්ථාව. මීට අමතරව ටෝකියෝ පැරාලිම්පික් ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු මේජර් ජෙනරාල් ජේ.ආර්.අම්පෙමොහොට්ටි සහ විධායක කමිටු සාමාජිකයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ජපානයේ ටෝකියෝ හී පැවැත්වෙන 2020 පැරාලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා අගෝස්තු මස මෙරටින් පිටත්වීමට නියමිත හෙල්ල විසිකිරීමේ සුපිරි ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත්ගේ නායකත්වයෙන් යුතු 9 දෙනෙකුගෙන් සමන්විත ශක්තිමත් ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් බලගන්වනු ලබයි.

2012 ලන්ඩන් පැරාලිම්පික් උළෙලේදී මීටර 400 ටී46 කාණ්ඩයෙන් තත්පර 49.28ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ප්‍රදීප් සංජය විසින් ලෝකඩ පදක්කම දිනාගත් අතර එය ශ්‍රී ලංකාව විසින් පැරාලිම්පික් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ලෙසින් ඉතිහාසයට එක්විය. අනතුරුව යෙදුණු 2016 රියෝ පැරාලිම්පික් උළෙලේදී දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් පිරිමි හෙල්ල විසිකිරීම එෆ් 46 කාණ්ඩයේදී මීටර 58.23ක දක්ෂතාවක් සටහන් කරමින් ලෝකඩ පදක්කම දිනාගන්නා ලදී. එසේම 2019 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හී පැවැති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවේදී අදාළ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමටද ඔහු සමත්විය.

මෙවර ටෝකියෝ පැරාලිම්පික් උළෙලට සහභාගීවන 9 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායම වෙනුවෙන් ජාතික ධජය රැගෙන යෑම හෙල්ල විසිකිරීම එෆ්46 කාණ්ඩයෙන් තරගවදින දිනේෂ් ප්‍රියන්ත හේරත් වෙත පැවරෙන අතර එෆ්44 සහ එෆ්64 කාණ්ඩවලින් හෙල්ල විසිකිරීමේ ඉසව් සඳහා තරගවදින පිළිවෙලින් සමිත දුලාන් සහ සම්පත් හෙට්ටිආරච්චි, යගුලිය විසිකිරීමේ ඉසව්වට එෆ්42 කාණ්ඩයෙන් තරගවදින පාලිත බණ්ඩාර, මීටර 400 ඉසව්වේ ටී47 කාණ්ඩයෙන් තරගවදින මධුරංග සුබසිංහ, මීටර 100 ටී45/46 කාණ්ඩයට සහ දුර පැනීම ඉසව්වට තරගවදින කුමුදු ප්‍රියංක සමගින් රෝදපුටු ටෙනිස් ඉසව්වට තරග වදින රංජන් ධර්මසේන, දුනු විදීමේ ඉසව්වට සහභාගී වන සම්පත් බණ්ඩාර සහ ඔරුපැදීම ඉසව්වට සහභාගීවන මහේෂ් ජයකොඩි එම කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.

මෙම ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම සවිබල ගන්වනු ලබන, මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, දේශීය පැරා ක්‍රීඩා ක්ෂේත්‍රය සමග දීර්ඝ කාලයක් තිස්සේ බැඳී සිටින්නකි. ජාතික පැරාලිම්පික් කමිටුවේ සහ 2015 සිට ශ්‍රී ලංකා යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල කමිටුවේ සාඩම්බර අනුග්‍රාහකයා වන ඩයලොග්, ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමට සහ ජාතික පැරා ක්‍රීඩා උළෙල වෙනුවෙන්ද 2000 වසරේදී පළමු වරට අනුග්‍රහය දැක්වූ අතර අනතුරුව 2004, 2008 සහ 2012 දීද ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමට අනුග්‍රහය දක්වන ලදී.

මෙම ටෝකියෝ පැරාලිම්පික් ශ්‍රී ලංකා නියෝජනයේ කණ්ඩායම් ප්‍රධානී ලෙසින් කටයුතු කරන මේජර් ජෙනරාල් ජේ.ආර් අම්පෙමොහොට්ටි අදහස් දක්වමින් “ලන්ඩන් සහ රියෝ යන අවසන් පැරාලිම්පික් උළෙල දෙකේදීම පදක්කම් දිනාගැනීමට සමත් වෙමින් ශ්‍රී ලංකා පැරාලිම්පික් ක්‍රීඩකයන් ප්‍රශංසනීය දස්කම් ප්‍රදර්ශනය කර තිබෙනවා. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පුහුණු කටයුතු වෙනුවෙන් පැනවුණු සීමාකාරීම් මධ්‍යයේ වුව, අප කණ්ඩායම පදක්කම් දිනාගැනීම වෙනුවෙන් මහත් වෙහෙස මහන්සියෙන් කැපවුනා. ඉතිං අප සිතනවා මෙවර ටෝකියෝවේදී අපට වැඩි පදක්කම් ගණනක් දිනාගැනීමට හැකිවෙයි කියලා.” යනුවෙන් පවසන ලදී.

“එසේම අපට දැවැන්ත ශක්තියක්, ධෛර්යයක් වෙමින් මෙරට පැරා ක්‍රීඩාව සමග දීර්ඝ කාලයක් පුරා රැඳී සිටීම සම්බන්ධයෙන් අපගේ ප්‍රධාන අනුග්‍රාහකයා වන ඩයලෝග් ආසිආටා සමාගමට මගේ ස්තුතිය පිරිනැමෙනවා. ජාතික සහ ජාත්‍යන්තර තලයේදී ඔවුන් විසින් වෙහෙස නොබලා ලබාදෙන මේ සවිබලය අප ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රට වෙනුවෙන් ගෞරව දිනාදීමට මහගු උපකාරයක් වෙනවා.” යැයි මේජර් ජෙනරාල් අම්පෙමොහොට්ටි වැඩිදුරටත් පැවසීය.

“මෙරට ජාතික තලයේ ක්‍රීඩාවන්හී ගැඹුරට මුල්බැසගත් සමාගමක් ලෙසින් ජාතික පැරලිම්පික් කමිටුව සමග දශකයටත් අධික කාලයක් පුරා පැවත එන අපගේ සබඳතාව තව දුරටත් පෙරට රැගෙන යෑමට හැකිවීම ගැන ආඩම්බර වෙනවා.” යි ඩයලොග් ආසිආටා සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී - සන්නාම සහ මාධ්‍ය -හර්ෂ සමරනායක මහතා පැවසීය. “ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තලයේ පවා ඉහළ දක්ෂතා දැක්විය හැකි බව අපේ පැරාලිම්පික් ක්‍රීඩකයන් විසින්, ඔවුන්ගේ මෑතකාලීන ජයග්‍රහණ මතින් පෙන්වා තිබෙනවා. 2020 ටෝකියෝ උළෙලේදී ඔවුනට ජයග්‍රාහී ප්‍රතිඵල අත්වේවා යැයි මා ප්‍රාර්ථනා කර සිටිනවා.” යැයි සමරනායක මහතා මෙම කණ්ඩායමට සිය සුබාශිංසන එක් කරමින් ප්‍රකාශ කළේය.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙසද කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, රග්බි සමාජ, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසැල් ක්‍රිකට් හා පාසල් රග්බි තරග, යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.