பொருள் விரிவாக்கம்

ඩයලොග්, 16 වැනි වාර්ෂික තිරසාරත්ව වාර්තාව නිකුත් කරයි

SLFRS S1 සහ S2 ප්‍රමිතීන්ට ඩයලොග් අනුකූල බවට විගණකවරුන් විසින් ස්වාධීනව තහවුරු කළ දකුණු ආසියා කලාපයේ මුල්ම වාර්තාව බවට පත් වෙයි.

2024 නොවැම්බර් 12 වැනිදා         (කොළඹ)

 

Dialog Customers Contribute to Little Hearts

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ගතවුණු වසරේ ආයතනයේ තිරසාරත්ව ක්‍රියාවලිය පිළිබඳව විදහා දැක්වෙන 2023 වාර්ෂික තිරසාරත්ව වාර්තාව නිකුත් කර තිබේ. මෙම වාර්ෂික වාර්තාව, 2023 වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාල සීමාව තුළ ආයතනය මගින් සිදුකෙරුණු පාරිසරික කටයුතු, සමාජයීය කාර්යයන් හා පාලන ක්‍රමවේද (ESG) පිළිබඳව විස්තර සහිතව දැක්වෙන පුළුල් වාර්තාවකි. ඩයලොග් විසින් ක්‍රියාවට නංවන වැඩසටහන් හා ආයතනය අත්පත් කරගත් ජයග්‍රහණ පිළිබඳව එහි සියලුම පාර්ශවකරුවන් වෙත පැහැදිළි අවබෝධයක් ලබාදෙන මෙම නවතම වාර්තාව මෙවර නිකුත් කර ඇත්තේ 16 වැනි වරටයි. තිරසාරත්වයට හා විනිවිදභාවයට අදාළ වැඩසටහන් ආයතනය තුළ සාර්ථකව දියත් කිරීමෙන්, තිරසාරත්වය වෙනුවෙන් ඩයලොග් දක්වන කැපවීමද මෙම වාර්තාවෙන් අවධාරණය කෙරේ.

විගණකවරුන් විසින් ස්වාධීනව තහවුරු කළ දකුණු ආසියා කලාපයේ මුල්ම වාර්තාව වන මෙම වාර්තාවෙන් දැක්වෙන හැටියට, දකුණු ආසියානු කලාපයේ SLFRS S1 සහ S2 ප්‍රමිතිය අනුගමනය කරන ප්‍රථම සමාගම වන්නේද ඩයලොග් සමාගමයි. ඉහත ප්‍රමිතිය, ආයතනයේ තිරසර වාර්තාකරණ ක්‍රියාවලියට අදාළ මුල්‍ය හෙළිදරව් කිරිම් සඳහා ඩයලොග් අනුගමනය කරන ප්‍රමිතියකි. ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ (IFRS) ප්‍රමිතියද පදනම් කරගනිමින් ඩයලොග් අනුගත වූ මෙම ප්‍රමිතිය, ශ්‍රී ලංකාවේ ආයතනවල විනිවිදභාවය මැන බැලීමට යොදාගත හැකි සාර්ථක මිණුම් දණ්ඩකි. මෙහි SLRFS S1 මගින් අපේක්ෂා කෙරෙන්නේ, තිරසාරත්වයට අදාළව පැන නැගිය හැකි අවදානම් හා එම අවදානම් මතුවිය හැකි අවස්ථාවන් පිළිබඳව හෙළිදරව් කිරීමයි. එහි S2 ප්‍රමිතිය යටතේ, දේශගුණික අවදානම් හේතුවෙන් උද්ගත වන තර්ජන හඳුනා ගැනීම සිදුකෙරේ. මෙලෙස, තිරසර වාර්තාකරණය සම්බන්ධ වගකීමට සුවිශාල ලෙස උරදෙමින් මෙවැනි ප්‍රමීතීන්ට අනුව කටයුතු කිරීම, ජාත්‍යන්තර වශයෙන් හොඳම ක්‍රමවේද ‍ ඩයලොග් විසින් ක්‍රියාවට නැංවීමක්ද වෙයි.

තිරසර වාර්තාකරණයට අදාළ හොඳම ක්‍රමවේද අඛණ්ඩව අනුගමනය කරන ඩයලොග් 2010 වසරේ සිට මේ දක්වාම, Global Reporting Initiative (GRI) ප්‍රමිතියට අනුව සමාගමේ තිරසර වාර්තාකරණ කටයුතු පවත්වාගෙන යයි. එමෙන්ම, තිරසර ගිණුම්කරණ ප්‍රමිති මණ්ඩලය (SASB) සහ මොබයිල් සන්නිවේදන සංගමය සඳහා වන ගෝලීය පද්ධතිය (GSMA) ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන, දකුණු ආසියා කලාපයේ ප්‍රථම විදුලි සංදේශ සමාගම වන්නේද ඩයලොග් සමාගමයි. එපමණක් නොව, තිරසර වාර්තාකරණයට අදාළව ආයතනික විනිවිදභාවය මැනවින් පවත්වා ගැනීමටද ඩයලොග් කටයුතු කරයි. 2023 වසරේ Transparency International Sri Lanka වෙතින් පිරිනමනු ලැබූ ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය සම්බන්ධ (TRAC) ඇගැයීම හිමි වූයේද ඩයලොග් සමාගමටයි. එලෙස ආයතනික විනිවිදභාවය පවත්වා ගැනීම තුළින් මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ පුරෝගාමි සමාගම බවට ඩයලොග් පත්ව ඇති ආකාරය එම ඇගයීමෙන්ද පැහැදිළි වේ.

“ආයතනය මගින් ක්‍රියාත්මක කරන තිරසාරත්ව ක්‍රමවේද, ආයතනික වගකීම හා විනිවිදභාවය පවත්වාගැනීම පිළිබඳව පෙන්නුම් කරන, 2023 වාර්ෂික තිරසාර වාර්තාව මෙලෙස නිකුත් කිරීම අපට සතුටට කාරණයක්” යනුවෙන් මේ පිළිබඳව ප්‍රසාදය පළ කරමින් ඩයලොග් ආසිආටාහි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා පවසයි. “GSMA සහ SASB ප්‍රමිතීන් සමග SLFRS ප්‍රමිතියටද අනුගතව කටයුතු කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම ලෙස ජාත්‍යන්තර හා දේශීය ප්‍රමිතීන්ද අනුගමනය කරමින් ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීමට හැකිවීම අපට ඇත්තටම ආඩම්බරයට කාරණයක්. මෙම වාර්තාව මගින් ආයතනික තිරසාරත්ව ක්‍රියාවලියෙහි ප්‍රගතිය මැන බැලීමටත්, ඒ පිළිබඳව නිවැරදිව වාර්තා කිරීමටත් පවතින හැකියාව තව තවත් ශක්තිමත් කෙරෙනවා. ඒ තුළින්, විදුලි සංදේශ ක්ෂේත්‍රය තුළ හා ඉන් පරිබාහිරව සිදුකෙරෙන අර්ථවත් වෙනසක් ඔස්සේ, ශ්‍රී ලංකාවේ තිරසාර අනාගතයක් වෙනුවෙන් දායක වීමට අපට හැකියාව සැලසෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඩයලොග් 1994 වසරේ මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රය වෙත පිවිසුණු කාලයේ පටන්ම වගකීම් සහගත ව්‍යාපාරික ක්‍රමවේදවලට අනුව කටයුතු කරන අතරම, ඩිජිටල් අන්තර්කරණයන් අඛණ්ඩව සිදුකිරීමටද පියවර ගත් සමාගමකි. එම කාලය පුරාම සමාජීය වගකීමෙන් යුතු වැඩසටහන් ක්‍රියාවට නංවමින්, ශ්‍රී ලාංකික ජීවිත හා ව්‍යාපාර පොහොසත් කිරීම සඳහා ඩයලොග් විසින් කටයුතු කෙරිණි. සැමවිටම තිරසාරභාවය සම්බන්ධයෙන් කටයුතු කරන සන්නාමයක් ලෙස ඩයලොග්, වඩාත් වැදගත් කොට සලකන්නේ, ආයතනයෙහි කටයුතුවල සාර්ථකත්වයට උපකාරී වන ශ්‍රී ලාංකීය සමාජයේ දියුණුව තකා කටයුතු කිරීමයි. ඒ හේතුවෙන්, මෙරට සමාජයේ දියුණුවට මගපාදන නවෝත්පාදන අඛණ්ඩව දියත් කරමින් විදුලි සංදේශ ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගම බවටද ඩයලොග් පත්ව තිබේ.