Body

Doc990 වෙතින් ගාල්ල ජාතික රෝහලේ ඖෂධ නිකුත් කිරීමේ සේවාව වඩාත් කාර්යක්ෂම කිරීමට ඩිජිටල් පෝලිම් ක්‍රමවේදයක්

2026 මැයි 12         කොළඹ

 

මෙම අවස්ථාවට එක්වූ ඩිජිටල් හෙල්ත් (පුද්ගලික) සමාගමේ නියෝජිතයින් සහ ගාල්ල ජාතික රෝහල් කාර්ය මණ්ඩලය

ඩයලොග් ආසිආටා පීඑල්සී අනුබද්ධ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය විසඳුම් සම්පාදකයා වන, ඩිජිටල් හෙල්ත් පුද්ගලික සමාගම ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය පහසුකම් නංවාලීම උදෙසා පිරිනමන සාඩම්බර විසඳුමක් වන Doc990 වෙතින්, ගාල්ල ජාතික රෝහලේ ඖෂධ නිකුත් කිරීමේ අංශය උදෙසා නවතම ඩිජිටල් පෝලිම් කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදෙන බව සතුටින් දැනුම් දෙයි. තවත් ඉදිරිගාමී ඩිජිටල් සෞඛ්‍ය විසඳුමක් ලෙසින් ක්‍රියාවට නැංවීමට නියමිත එම ක්‍රමවේදය හරහා දකුණු පළාතේ වඩාත් කාර්යබහුල මෙම රෝහල කරා පැමිණෙන රෝගී ජනතාවට, විධිමත් පෝලිම් ක්‍රමවේදයක් මගින් සෞඛ්‍ය පහසුකම් කඩිනමින් ලබාගැනීමට අවස්ථාව සලසාදීම අරමුණයි.

මෙම නවතම ක්‍රමවේදය යටතේ රෝහලට පැමිණෙන රෝගීන්ට පෝලිම් අංකයක් හිමිවන අතර, අදාළ කවුන්ටර පරිශ්‍රයේ සවිකර ඇති ඩිජිටල් තිර මගින් තම වාරය ඉතා පහසුවෙන් බලාගැනීමට අවස්ථාව උදාවේ. ඒ අනුව මෙම ක්‍රමවේදය මගින්, ඖෂධ කවුන්ටර අසල පවතින තදබදය අවම වන අතරම, වෛද්‍යවරුන් හමුවට පැමිණෙන රෝගීන් වඩාත් පැහැදිලි ක්‍රමවේදයක් ඔස්සේ වෛද්‍යවරුන් වෙත යොමු කිරීමටද හැකියාව සැලසේ.

එමෙන්ම, මෙම පද්ධතියෙහි සජීවී දත්ත කළමනාකරණ පහසුකම් මගින් රෝගීන්ගේ පැමිණීමත්, පෝලිම් හැසිරවීම පිළිබඳවත් තොරතුරු සැණෙකින් ලබාගැනීමට රෝහල් කාර්ය මණ්ඩලයට හැකියාව ලැබේ. ඒ අනුව, මේ තුළින් ඖෂධ නිකුත් කිරීමේ සමස්ත ක්‍රියාවලිය වඩාත් විධිමත් ලෙස සම්බන්ධීකරණය කරමින් විශාල රෝගීන් සංඛ්‍යාවකට ඉතා කෙටි කලකින් සේවා සැපයීමට රෝහල් කාර්ය මණ්ඩලය සවිබල ගැන්වේ.

මෙම සුවිශේෂී පියවර පිළිබඳව අදහස් දක්වමින් Doc990 ප්‍රධාන විධායක නිලධාරී ජනිත් පීරිස් මහතා මෙසේ ප්‍රකාශ කළේය. මෙය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම උදෙසා අප ගන්නා ප්‍රයත්නයේ වැදගත් සන්ධිස්ථානයක්. මෙවැනි ව්‍යාපෘති මගින් තහවුරු වන්නේ, සෞඛ්‍ය සේවා පහසුවෙන්ම ඔබ අතට ළඟා කර දීමට අප දරනා ප්‍රයත්නයයි. ගාල්ල ජාතික රෝහලේ මෙම ඩිජිටල් ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමෙන්, රෝගීන්ට වඩාත් සහනයක් ලබාදීමටත්, පොදුවේ රටේ සෞඛ්‍ය යටිතල පහසුකම් ශක්තිමත් කිරීමටත් දායක වීම Doc990 හි අරමුණයි.”

ගාල්ල ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලක්මාලි විජේරත්න මහත්මියද මේ පිළිබඳව සිය අසහස් පළ කළාය. "ඖෂධ නිකුත් කරන ස්ථානවල පවතින තදබදය අවම කරමින්, රෝගීන්ට නිකරුණේ පෝලිම්වල කාලය වැය කිරීම වැළැක්වීමට මෙම පියවර බෙහෙවින් ඉවහල් වනවා. මේ හරහා රෝගීන්ට උපරිම පහසුව සලසමින්, රෝහල් කටයුතු වඩාත් විධිමත් කිරීමට සහය ලබාදීම පිළිබඳව Doc990 වෙත අපගේ ස්තුතිය පුද කිරීමටත් කැමතියි.”

මෙම ඩිජිටල් ක්‍රමවේදය මගින් ගාල්ල ජාතික රෝහලේ කටයුතු වඩාත් කාර්යක්ෂම කරන Doc990 නිරන්තරයෙන් කැපවන්නේ, එවැනි ඩිජිටල් විසඳුම් අවශ්‍යතා පවතින දිවයින පුරා රෝහල් සඳහා මෙවැනි ප්‍රායෝගික විසඳුම් හඳුන්වාදීමටයි. ඒ අනුව, ශ්‍රී ලාංකිකයන්ට සම්බන්ධතා සමගින් වඩාත් බද්ධ වුණු සෞඛ්‍ය සේවාවක් සලසා දීම අරමුණයි.