பொருள் விரிவாக்கம்

ජාතියම පුබුදන ජයග්‍රහණ ලැබූ ක්‍රීඩා විරුවන්ට ජාතියේ උපහාරය පිරිනැමෙයි

September 18th, 2022         Colombo

 

National Cricket team

ජාතික ක්‍රිකට් කණ්ඩායමට උපහාර පිදීම‍ වෙනුවෙන් කොළඹ සිනමන් ලේක් සයිඩ් හී පැවැති උත්සවයේදී ශ්‍රී ලංකා පන්දුවාර 20 කණ්ඩායමේ නායක දසුන් ශානක (2022 ආසියානු කුසලාන අතැතිව) ප්‍රමුඛ ජාතික ක්‍රිකට් කණඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරු

National Netball team

කොළඹ සිනමන් ලේක්සයිඩ් හිදී ජාතික දැල්පන්දු කණ්ඩායමට සම්මානයට පාත්‍ර වූ අවස්ථාව. ජාතික දැල්පන්දු කණ්ඩායමේ නායිකා ගයංජලී අමරවංස (ආසියානු දැල් පන්දු ශූරතාව අතතැතිව) ප්‍රමුඛ ජාතික දැල්පන්දු කණ්ඩායම,ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති වික්ටෝරියා ලක්ෂ්මී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඩයලොග් ආසිආටා පී.එල්.සී සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරු

මේ ශූරයන් බිහිවන යාමයයි. ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ වසන්ත සමයයි. නැගී සිටීමට වෙර දරන ජාතියකට අවැසි මානසික උත්තේජනය රැගෙන අප ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජය පිට ජය ලැබූ මෙරට ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන පරිච්ජේදයයි.

ලැබූ ජය පෙරට රැගෙන ගොස් රටේත්, ක්‍රීඩාවේත් විජයග්‍රහණය පිණිස ඒ ජයග්‍රාහී හැකියාවෙන් යුක්ත වූවන්ට තව තවත් දිරිය ශක්තිය පිරිනැමිය යුතු මොහොතයි. ඒ වෙනුවෙන් පිදිය යුත්තා පිදිය යුතු මොහොතයි.

ජනාධිපති ලේකම් කාර්යාලය, ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සහ සිනැමන් ලේක්සයිඩ් හා එක්ව, ජයග්‍රහණයේදී මෙන්ම පරාජයේදීද මෙරට ක්‍රීඩාව අත නෑර එය අනුග්‍රාහක සවියෙන් බලගන්වමින් මෙරට ක්‍රීඩාව සමග නිබඳවම රැඳුණු ඩයලොග් ආසිආටා විසින් ඉකුත් සැප්තැම්බර් 17 වැනිදා සුන්දර සිනැමන් ලේක්සයිඩ් පරිශ්‍රයේදී පිදිය යුත්තන් පිදීමට කටයුතු සකස්වූයේ ඒ වෙනුවෙනි.

ඒ අනුව ඉකුත් සැප්තැම්බර් 11 වැනිදාව මෙරට ක්‍රීඩාවේ ඓතිහාසික දිනයක් බවට පත්කරමින් ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පකිස්තානය පරදවමින් ආසියානු කුසලාන ක්‍රිකට් ශූරයන් බවට පත්වූ දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිංගප්පූරුවේදී සිංගප්පූරුව පරාජයට පත්කරමින් ආසියානු දැල්පන්දු ශූරියන් බවට පත්වූ ගයංජලී අමරවංස ප්‍රමුඛ අප ජාතික කණ්ඩායම ද, ඉකුත් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී පැරා අංශයේ කවපෙත්ත විසිකිරීමෙන් රිදී පදක්කම දිනූ පාලිත බණ්ඩාර, මීටර 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනූ යුපුන් අබේකෝන්, එහි මල්ලව පොර ලෝකඩ පදක්කම දිනූ නෙත්මි අහිංසා සහ බර එසවීමෙන් ලෝකඩ පදක්කම දිනූ ඉසුුරු ඩිලංක යන, ජාත්‍යන්තරයේ මෙරට ක්‍රීඩාව දිනවූ ඒ 'හපනුන්' වෙත ජාතියේ ප්‍රනාමය පුදකරන උපහාර උළෙල ශ්‍රී ලංකාවේ පළමු පුරවැසියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය විය.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඇතුලු ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු එම ආයතනයේ නිලධාරීන්, දැල්පන්දු සම්මේලනයේ සභාපති වික්ටෝරියා ලක්ෂ්මී ඇතුළු එම සම්මේලනයේ නිලධාරීන් සමග ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් වසර 9ක කාලයක් අනුග්‍රහය දැක්වූ මෙන්ම ජාතික දැල්පන්දු කණ්ඩායම වසර 4ක් පුරාවට අනුග්‍රහය සපයමින් මෙරට ක්‍රීඩාවට නිබඳ දිරිබලය ලබාදෙන ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීහූද සහභාගී වූහ.

මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමන්, ඇෆ්ගනිස්තානයටද පැරදී ඇරඹූ ගමනක් අවසානයේ සමස්ත ආසියාව පරදවන තැනින් අවසන් කරමින් අප ක්‍රිකට් ක්‍රීඩකයන් ලබාදුන් පාඩම, දුෂ්කරතා මධ්‍යයේ වුව අප ජාතික දැල්පන්දු කණ්ඩායම ලබාගත් ජයග්‍රහණය මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී අප ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාදුන් ජයග්‍රාහී ආදර්ශයන් සමස්ත ජාතියේම ආදර්ශයන් බවට පත්විය යුතු බව අවධාරණය කරන ලදි.

ආසියානු කුසලාන මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල කලාපයේ පදක්කම් දිනූවන් ජයග්‍රාහී උපහාර වශයෙන් සමරු ඵලක ඇතුළුව නන් අයුරින් ඇගයීමට ලක්වූණි.

ඒ සමග මෙම අවස්ථාවට මානුෂීය අගයක් රැගෙන එමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මහරගම අපේක්ෂා රෝහලේ අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක ප්‍රදානයක් සිදුකිරීමටද යෙදුණි. ජාතියක් අභිප්‍රේරණය කළ ක්‍රීඩාවේ විරුවෝ සියලු දෙනා මෙලෙස එකම වේදිකාවක ඇගයීමට ලක්වූ නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් සමන්විත වූ මෙම වර්ණවත් රාත්‍රිය මෙරට ක්‍රීඩාවේ අනාගත ජයග්‍රහණ උදෙසා අවැසි දිරිය, ශක්තිය, ජවය එන්නත් කළ සොඳුරු මොහොතක් බවට පත්විය.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, දැල්පන්දු, වොලිබෝල් සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් රග්බි, හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.