Body

72 වැනි රන් මහා සටනට ඩයලොග් සවිබලය

2022 ඔක්තෝබර් 26         කොළඹදී

 

72 වැනි රන් මහා සටනට ඩයලොග් සවිබලය

ඡායාරූපයේ වමේ සිට දකුණට: මොරටුව ශා. සෙබස්තියන් විදුහලේ කණ්ඩායම් නායක බිහංග මෙන්ඩිස්, මොරටුව ශා. සෙබස්තියන් විදුහලේ අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන ආචාර්ය නිලාන් ප්‍රනාන්දු, මොරටුව ශා. සෙබස්තියන් විදුහලේ විදුහල්පති ගරු සංජීව ප්‍රනාන්දු පියතුමා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම, මොරටුව වේල්ස් කුමර විදුහලේ විදුහල්පති හසිත කේසර වෙත්තමුණි, මොරටුව වේල්ස් කුමර විදුහලේ ක්‍රීඩා අංශයේ ශිෂ්‍ය නායක කසුන් දේවප්‍රිය, මොරටුව වේල්ස් කුමර විදුහලේ කණ්ඩායම් නායක ගිමන්ත අමරසිංහ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට අතහිත දීම වෙනුවෙන් වූ සිය පොරොන්දුව ඉදිරියට ගෙන යමින්, මොරටුව ශා. සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර පැවැත්වෙන 72 වැනි රන් මහා සටන බලගැන්වීමට යළිත් වරක් ඉදිරිපත් වී තිබේ.

2022 වසර සඳහා වන රන් මහා සටන ඔක්තෝබර් 27 සහ 28 දෙදින මොරටුව ද සොයිසා ක්‍රීඩංගණයේදී පූර්ණ ප්‍රෙක්ෂක සහභාගීත්වයෙන් යුතුව පැවැත්වීමට නියමිතව තිබෙන අතර දෙවිදුහල් අතර 37 වැනි වරටත් පවත්වනු ලබන වාර්ෂික එක්දින තරගය එයට පසුදින කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන තරිඳු ගිමන්ත අමරසිංහ මොරටුව වේල්ස් කුමර විදුහලට නායකත්වය ලබාදෙන අතර, තුන් ඉරියව් ක්‍රීඩක බිහංග මෙන්ඩිස් ශා. සෙබස්තියන් කණ්ඩායමට නායකත්වය ලබාදෙයි. /p>

1996 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ සාමාජික රොමේෂ් කළුවිතාරණ හා ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දුලිප් මෙන්ඩිස් ඇතුළුව මෙම පාසල් ද්විත්වයෙන්ම ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නියෝජනයන් වන ඕෂධ ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, අවිෂ්ක ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම සහ අමිල අපෝන්සු ශා. සෙබස්තියන් විදුහලෙන් බිහිවූ ක්‍රීඩකයින් වන අතර කුසල් මෙන්ඩිස් හා ළහිරු තිරිමාන්න වේල්ස් කුමර විදුහලෙන් බිහිවූ ක්‍රීඩකයින් වේ.

දෙවිදුහල් අතර එක්දින තරගය thepapare.com, Dialog VIU mobile app සහ Dialog TV නාලිකා අංක 140 ඔස්සේ සජීවීව විකාශය කිරීමට තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග් ආසිආටා සමාගම කටයුතු යොදා ඇත.

මෙම තරග ඉතිහාසයේ ජයග්‍රහණ හයකට වේල්ස් කුමර විදුහල හිමිකම් කියද්දී සෙබස්තියන් විදුහලට ජයග්‍රහණ 3ක් හිමිව තිබෙන අතර 2011 වසරේදී සනිත ද මෙල් ගේ නායකත්වය යටතේ ජයග්‍රහණය කළ ශා. සෙබස්තියන් විදුහල වත්මන් ශූරයන් වේ. අවසන් වරට පැවැති දෙදින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර එක්දින තරගයේදී වේල්ස් කුමර විදුහලට ලකුණු 2ක තියුණු ජයක් හිමිවිය.

සීමිත පන්දුවාර තරග ඉතිහාසයේ ජයග්‍රහණ 17ක් සමගින් සෙබස්තියන් කණ්ඩායම ඉදිරියෙන් සිටින අතර වේල්ස් කුමර විදුහල තරග 16ක ජයග්‍රහණ ලබද්දී එක් තරගයක් ලකුණු සමව සහ තවත් තරග දෙකක් විසඳුම් රහිතව නිමාවී ඇත.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, වොලිබෝල්, දැල්පන්දු සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් රග්බි, හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.