Body

141 වෙනි රාජකීය - ශාන්ත තෝමස් 'නිල් මහා සටන' අඛණ්ඩව හයවෙනි වරටත් Dialog විසින් බලගන්වයි

February 19th, 2020         Colombo

 

news-1

ජායාරූපයේ (වමේ සිට දකුණට) - රාජකීය විද්‍යාලයේ නායක තෙවිඳු සේනාරත්න, රාජකීය - ශාන්ත තෝමස් තරග කමිටුවේ සම සභාපති ප්‍රසන්න ප්‍රනාන්දු, රාජකීය විදුහලේ විදුහල්පති බී.ඒ. අබේරත්න, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනි අමලි නානායක්කාර, ශාන්ත තෝමස් විදුහලේ වැඩ බලන විදුහල්පති, අසංග පෙරේරා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි උප සභාපති, ව්‍යවසාය ව්‍යාපාර සහ මහා පරිමාණ ව්‍යවසාය විකුණුම් නවීන් පීරිස්, රාජකීය - ශාන්ත තෝමස් තරග කමිටුවේ සම සභාපති මහේෂ් නානායක්කාර, ශාන්ත තෝමස් විද්‍යාලයේ නායක තෙවින් ඊරියගම

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බාලක පාසල් දෙකක් වන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය මෙවර 141 වෙනි වරට පැවැත්වෙන 'නිල් මහා සටන' ඔස්සේ දස්කම් දැක්වීමට සූදානමින් සිටී. ඒ අනුව "මහාමාන්‍ය" ඩී.එස්.සේනානායක අනුස්මරණ කුසලානය වෙනුවෙන් මෙම පාසල් මාර්තු මස 12 වෙනිදා සිට 14 වෙනිදා දක්වා කොළඹ එස්.එස්.සී පිටියේදී තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් බලගන්වන මෙම තරගය සඳහා, මේ වසරේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක තෙවින් ඊරියගමට හිමිවී ඇති අතර කොළඹ රාජකීය විද්‍යාල කණ්ඩායමේ නායකත්වය තෙවිඳු සේනාරත්නට හිමිවී ඇත.

'රාජකීය - ශාන්ත තෝමස්' නිල් මහා සටන වසර 140 ක පොහොසත් සහ විචිත්‍රවත් අතීතයක් සහිත තරගයකි. එමෙන්ම මෙය ලොව අඛණ්ඩව පැවැත්වෙන ක්‍රිකට් තරග අතරින් දෙවන දීර්ඝතම ඉතිහාසයකට හිමිකම් කියන අතර, එය දෙවනි වන්නේ ඉන් වසරකට පෙර ආරම්භ කරන ලද ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි ශා. පීතර විදුහල සහ ඇඩිලේඩ් ඇල්ෆ්‍රඩ් කුමර විදුහල අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහ ඉන් වසර දෙකකට පෙර ආරම්භ කරන ලද ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලියට පමණි.

ක්‍රීඩකයන් පමණක් සහභාගි වූ නිල් මහා සටනේ පළමු තරගය 1880 වසරේදී ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි. එය මේ වන විට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය පිහිටි ස්ථානයයි. එය සියවස් තරගාවලියේ ආරම්භයද සනිටුහන් කරන ලදී. මෙම තරගයට ක්‍රීඩා කිරීම සඳහා කණ්ඩායම් දෙකටම බෝට්ටු යොදාගෙන බේරේ වැව තරණය කිරීමට සිදුවූ බවද වාර්තා වේ. රාජකීය - ශාන්ත තෝමස් නිල් මහා සටන සඳහා සිය පාසල් නියෝජනය කරමින් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් රැසක් මෙරට කීර්තිමත් රාජ්‍ය නායකයන් බවට පත්ව ඇත. ජාතියේ පියා යන විරුදාවලිය ලත් මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතා සහ එතුමන්ගේ පුත් හිටපු අග්‍රාමාත්‍ය, ගරු. ඩඩ්ලි සේනානායක මහතාද ශාන්ත තෝමස් පිටියෙන් බිහිවූ අතර, හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල සහ මෙරට ප්‍රථම විධායක ජනාධිපති ගරු. ජේ.ආර්.ජයවර්ධන මහතා රාජකීය ක්‍රිකට් පිටියෙන් බිහිවූ කීර්තිමත් රාජ්‍ය නායකයෝය.

ගෙවුණු වසර 140ක ඉතිහාසය තුළ රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය වාර 35 බැගින් ජයගෙන ඇත. 1885 වසරේදී පැවති විද්‍යාලාන්තර ක්‍රිකට් තරගයෙදී පළමුව පන්දුවට පහරදුන් කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 09කට සියලුදෙනා දැවී ගිය අතර දෙවනි දිනයේදී තරගය පැවැත්වීමට නොහැකි විය. ඒ අනුව රාජකීය විද්‍යාලය එම තරගය ජය - පැරදුමකින් තොර තරගයක් ලෙසත්, ශාන්ත තෝමස් විද්‍යාලය එය තමන් ජයග්‍රයණය කළ තරගයක් ලෙසත් සලකයි. වසරේ පැවැත්වුණු තරගයේදී සිතාර හපුහින්නගේ නායකත්වය යටතේ අත්කරගන්නා ලද සුවිශේෂ ජයග්‍රහණයෙන් පසුව මේ වන විට මෙම කුසලානය ශාන්ත තෝමස් විද්‍යාලයේ කුසලාන කැබිනට්ටුවේ ප්‍රතාපවත් ලෙස තැන්පත් කර ඇති අතර, රාජකීය විද්‍යාලය මෙවර තරග බිමට පිවිසෙන්නේ එය නැවත තමන් සතුකර ගැනීමට අභියෝග කරමිනි. කොළඹ රාජකීය විද්‍යාලය අවසන් වරට 2016 වසරේදී ගීශාන්ත් පණ්ඩිතරත්නගේ නායකත්වය යටතේ කුසලානය තමන් සතු කරගැනීමට සමත්විය.

ඩයලොග් ආසිආටා සමාගම 2019 වසරේදී 140 වෙනි නිල් මහා සටන බලගන්වමින් මෙම තරගාවලිය සමඟ පවතින සම්බන්ධතාවය අලුත් කරගන්නා ලදී. මෙවර 141 වෙනි නිල් මහා සටනට ඩයලොග් සමාගම 12 වෙනි වරට අනුග්‍රහය ලබාදේ. එමෙන්ම ලබාගන්නා සෑම ලකුණක් සඳහාම රු. 1000 බැගින්ද, බිඳ වැටෙන සෑම කඩුල්ලක් සඳහාම රු. 10,000 බැගින්ද පිරිනැමීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කරයි. ඒ අනුව ‘Play for a Cause’ ප්‍රතිඥාව සඳහා පසුගිය වසරේදී එම සමාගම රු. 1,166,000 ක් පිරිනැමූ අතර, රාජකීය සහ ශාන්ත තෝමස් විද්‍යාලයීය විදුහල්පතිවරුන්ගේ උපදේශනය යටතේ එම මුදල් අඩු පහසුකම් පවතින පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා යෙදවිණ. ‘Play for a Cause’ ප්‍රතිඥාව ආරම්භයේ සිට මේ දක්වා අඩු පහසුකම් සහිත පාසල් 10 ක් සඳහා රු.5,143,000 ක වටිනාකමකින් යුතු ක්‍රිකට් මෙවලම් කට්ටල පිරිනැමීමට හැකිවී ඇත.

විශිෂ්ටත්වයේ ඉහළම සම්ප්‍රදායට අනුව පැවැත්වෙන මේ තරගයට දායක වන දෙපිළෙහි සාමාජිකයන් ශතවර්ෂ එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ අන්‍යෝන්‍ය ගෞරවයෙන්, සුහදත්වයෙන්, ක්‍රීඩාශීලීත්වයෙන් මිත්‍රශීලී ප්‍රතිවාදීන් ලෙස පිටිය තුළත් ඉන් පිටතත් දැඩි එකමුතුකමින් යුතුව කටයුතු කරති. මෙම තරගය පිළිබඳව දශක කිහිපයකට පෙර රාජකීය විදුහලේ හිටපු කීර්තිමත් විදුහල්පතිවරයෙකු අපූරු ප්‍රකාශයක් සිදුකර තිබිණි. ඒ, ශාන්ත තෝමස් විදුහල නොමැතිව රාජකීය විද්‍යාලයක් සහ රාජකීය විද්‍යාලය නොමැතිව ශාන්ත තෝමස් විදුහලක් පැවතිය නොහැකි බවයි.

ඩයලොග් ආසියාටා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ නෙට්බෝල් කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා වන අතර, ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි, රග්බි, ප්‍රිමියර් පාපන්දු, පාසල් ක්‍රිකට් මෙන්ම යුද්ධ හමුදා පැරා ක්‍රීඩා, ජාතික පැරා ක්‍රීඩා සහ පැරාලිම්පික් තරග සදහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම් සදහාද දායකත්වය ලබා දෙයි.