பொருள் விரிவாக்கம்

ධීවරයන් සඳහා නොමිලේ හඳුන්වාදෙන ස්ථානයට අනුකූල කාලගුණික නිවේදන සහ අනතුරු ඇඟවීම් සේවාව 'සයුරු' - ඩයලොග් විසින් බලගන්වයි

01 පෙබරවාරි 2020         කොළඹ

 

news-1

ජායාරූපයේ වමේ සිට දකුණට : ගරු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, ගරු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගරු ධීවර හා ජලජ සම්පත් අමාත්ය ඩග්ලස් දේවානන්ද, ගරු ධීවර හා මිරිදිය මත්ස්ය කර්මාන්ත රාජ්ය අමාත්ය සනත් නිශාන්ත,ගරු ප්රවාහන, විදුලිබල හා බලශක්ති කැබිනට් අමාත්ය මහින්ද අමරවීර.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව වෙරළබඩ කලාපයේ වෙසෙන ධීවර ප්‍රජාවට නොමිලේ, භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන SMS සහ හඬ පණිවිඩ පදනම් කරගත් කාලගුණික සහ අනතුරු ඇඟවීමේ සේවාව වන 'සයුරු' හඳුන්වාදෙයි.

වෙරළබඩ වෙසෙන ප්‍රජාවගෙන් සැලකිය යුතු පිරිසකගේ ජීවනෝපාය මාර්ගය පදනම් වී ඇත්තේ ධීවර කර්මාන්තය ආශ්‍රිතවයි. අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් ඔවුන්ගේ ජීවනෝපායට එල්ල කරන්නේ දැඩි බලපෑමකි. ධීවර ප්‍රජාවගේ ජීවිත අවදානම අවම කරමින් ඔවුන්ට නිවැරදි තොරතුරු සහ නිවේදන ක්ෂණිකව සන්නිවේදනය කිරීමේ අරමුණින් 'සයුරු' හඳුන්වාදෙනු ලැබීය. තමන් සිටින ස්ථානය පදනම් කරගනිමින් යාවත්කාලීන වූ කාලගුණ තොරතුරු සහ අනෙකුත් නිවේදන SMS හා හඬ පණිවිඩ හරහා ධීවර ප්‍රජාවට ලබාදීම සඳහා මෙම පද්ධතිය සකස් කර ඇත.

මෙම සේවාව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් 2020 පෙබරවාරි 28 වෙනිදා තංගල්ල ධීවර වරායේදී එළිදක්වනු ලැබිණ. 'සයුරු' මගින් ධීවර ප්‍රජාව සඳහා ස්ථානය සහ කාලගුණය පදනම් කරගත් නිවැරදි තොරතුරු ලබාදෙන අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මේ සඳහා අවශ්‍ය අන්තර්ගතය සපයනු ලබන අතර, ඊට රිසි අවකාශය සලසමින් ඩයලොග් ආසිආටා සමාගම මෙකී තොරතුරු ධීවර ප්‍රජාවට යොමු කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙයි.

'සයුරු' සේවාව හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වන ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ “වෙරළබඩ ධීවර ප්‍රජාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන 'සයුරු' සඳහා පහසුකම් සැලසීමට හැකිවීම අප මහත් ගෞරවයක් වශයෙන් සලකනු ලබනවා. මෙම කාලගුණික නිවේදන සහ අනතුරු ඇඟවීමේ සේවාව නොමිලේ ලබාදෙන අතර, ශ්‍රී ලාංකීය ජන ජීවිත නිරන්තරයෙන් සවිබලගන්වමින් පොහොසත් කරන්නට කැපවන ඩයලොග් හි සාර්ධර්මවලට අනුකූලවද, අතිශයින් වැදගත් කාලගුණික අනතුරු ඇඟවීම් රටටම ලබාදීම සඳහා අප විසින් හඳුන්වාදුන් හදිසි ආපදා අනතුරු ඇඟවීමේ ජාලය (DEWN) ඇතුළුව අප විසින් මීට පෙර බලගන්වනු ලැබූ ඩිජිටල් අන්තර්ගතවීම් සහ සැමට සපයාගත හැකි විසඳුම්වලට අනුකූලව පවතී.”

“ධීවර ප්‍රජාව වෙත මෙම සේවාව ගෙන ඒම සඳහා ඩයලොග් සමඟ පාර්ශ්වකරුවෙක් වන්නට හැකිවීම පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අතිශයින් ආඩම්බර වෙනවා. ධීවර ප්‍රජාවගේ බහුතරය දිනපතා මුහුදු යන ධීවරයන් වන අතර, ඔවුන්ගේ සුරක්ෂිතබව අපට ඉතාමත්ම වැදගත්. හදිසි පණිවිඩයක් ලබාදීම සඳහා SMS සහ හඬ ඇමතුම් භාවිත කරන ප්‍රථම අවස්ථාව මෙයයි,” යැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිණිගෙ ජනක කුමාර මහතා පැවසීය.

“කාලගුණය හා සම්බන්ධ තොරතුරු ධීවර ප්‍රජාවට ලබාදීම හරහා ධීවර ප්‍රජාව සුරක්ෂිත කිරීමේ තම වගකීම ඉෂ්ට කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වැනි අනෙකුත් රාජ්‍ය ආයතනවලට සහායවීමට හැකිවීම අප ලද භාග්‍යයක්. අදාළ පාර්ශව වෙත තොරතුරු ලබාදීම සඳහා තාක්ෂණික අවකාශයක් සලසාදීම වෙනුවෙන් ඩයලොග් සමාගමට අප ස්තුතිය පළකර සිටිනවා. භූගෝලය ඉලක්ක කරගත් නිවේදන, පරිශීලකයන්ට යොමු කිරීම හරහා වඩාත්ම විශ්වාසදායක තොරතුරු ලබාදීම කෙරෙහි අපගේ අවධානය යොමුවී තිබෙනවා,” යනුවෙන් දේශගුණ විපර්යාස සහ පර්යේෂණ පිළිබඳ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

නොමිලේ ලබාදෙන මෙම සේවාවට ලියාපදිංචිවීම සඳහා ඩයලොග් මොබයිල් ග්‍රාහකයන්ට ‘828’ ඇමතිය හැක. නැතිනම් ‘ACT’ ලෙස ටයිප් කර ‘828’ ට යොමු කළ හැකි අතර එසේ නැතිනම් MyDialog App එක හරහා සක්‍රිය කරගත හැකිය.