பொருள் விரிவாக்கம்

ඩයලොග් පාසල් රග්බි ලීග් 2024 තරගාවලිය කණ්ඩායම් 84ක වාර්තාගත සහභාගීත්වයකින් ලබන ජූනි 14 වැනිදා ඇරැඹේ

29th May 2024       Colombo

 

A record 84 teams to compete at Dialog Schools Rugby League 2024

වමේ සිට දකුණට :
ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ සමස්ත තරගාවලි පිළිබඳ ලේකම් නිරෝධ විජේරාම, ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ ලේකම්, මංජුල නිම්මාන, , ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ සභාපති කමල් ආරියසිංහ, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම, සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ඩයලොග් ආසිආටා පීඑල්සී හි උපසභාපති - සන්නාම හා මාධ්‍ය, හර්ෂ සමරනායක, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී/ ඩයලොග් ටෙලිවිෂන් හි ව්‍යාපාර ප්‍රධානී, පුබුදු අලුත්ගෙදර සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර, අලෙවිකරණ මෙහෙයුම් ප්‍රශාන් කොස්තා යන මහත්වරු ඡායාරූපයේ දැක්වෙති.

අනාගත ක්‍රීඩා තරු පෝෂණය කිරීම උදෙසා ඇපකැපවී කටයුතු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගම, ඩයලොග් පාසල් රග්බි ලීගයට යළිත් ජීවය සපයමින් එහි 2024 තරගාවලිය ක්‍රියාත්මක කරනු ලබයි. මෙම තරගාවලියේ කාණ්ඩ තුනටම අදාළව කණ්ඩායම් 84ක වාර්තාගත සහභාගීත්වයක් හිමිවන අතර එය පාසල් රග්බි ලීග ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නකි. මේ ආකාරයෙන් සහභාගීත්වය ඉහළ යාම සඳහා රග්බි සංවර්ධන තරගාවලි ආදී වැඩසටහන් හරහා ඩයලොග් විසින් ඉකුත් වසර ගණනාවක් පුරා අඛණ්ඩව පාසල් රග්බි ක්‍රීඩාව වෙනුවෙන් ලබාදුන් සහයෝගයේ ප්‍රතිඵලයකි. 70 ට අධික පාසල් කණ්ඩායම් සඳහා ක්‍රීඩා යටිතල පහසුකම් ගොඩගන්නට මුල්‍ය අනුග්‍රහයන් සහ රග්බි නිල ඇඳුම් ලබා දීමට ද ඩයලොග් ආයතනය කටයුතු කරයි. සියලු‍ දෙනා පුල පුලා බලා සිටින මෙම තරගාවලිය මෙවර ජුනි 14 වැනිදා හැව්ලොක් ක්‍රීඩාංගණයේ පළමු කාණ්ඩයේ ‘ඒ’ කොටසේ තරගවලින් ඇරැඹීමට නියමිතය.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගම විසින් අදාළ පාසල් වල වත්මන් සහ ආදි සිසුන්, දෙමාපියන්, ආධාරකරුවන්, සුබ පතන්නන් සහ රග්බි ලෝලී ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් මෙම තරගාවලිය ඩයලොග් ටෙලිවිෂන් හී ThePapare TV (නාලිකා අංක 63), ThePapare TV HD (නාලිකා අංක 126), Dialog ViU, සහ සහ Thepapare.com ඔස්සේ සජීවීව විකාශනය කිරීමට කටයුතු යොදා ඇත.

පාසල් රග්බි ලීග 2024 තරගාවල‍ියේ පළමු කාණ්ඩයේ ‘ඒ‘ කොටසේ තරගාවලිය සඳහා කණ්ඩායම් 16ක් තරගවදින අතර වත්මන් ශූර ශාන්ත පීතර විද්‍යාලය සහ පෙර වසරේ අනුශූර රාජකීය විද්‍යාලය සමගින් ඉසිපතන විද්‍යාලය, ශාන්ත ජෝසප් විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, විද්‍යා විද්‍යාලය, ශාන්ත අන්තෝන් විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, කිංග්ස්වුඩ් විද්‍යාලය, ඩී.එස් සේනානායක විද්‍යාලය, සහිරා විද්‍යාලය මෙන්ම ඉකුත්වර පළමු කාණ්ඩයේ ‘බී‘ කොට‍සේ තරගාවලියේ සිට උසස්වීම් ලැබූ තර්ස්ටන් විද්‍යාලය සහ මහනුවර සුමංගල විද්‍යාලය එයට ඇතුළත් වේ. තවත් පාසල් 26ක් පළමු කාණ්ඩයේ ‘බී‘ සහ ‘සී‘ කොටස්වලින් තරගවදින අතර දෙවැනි කාණ්ඩයේ තරගාවලියේ කණ්ඩායම් 12ක් සහ තුන්වැනි කාණ්ඩයේ තරගාවලියේ කණ්ඩායම් 30ක් බැගින් කාණ්ඩායම් 42ක් තමන් ඇතුළත් අදාළ කාණ්ඩවල ඉහළම ස්ථානවලට පත්වීම පිණිස සූදානමින් පසුවේ.

ශ්‍රී ලංකා පාසල් රග්බි කාලසටහනේ සුවිශේෂීම තරගාවලිය වන ඩයලොග් පාසල් රග්බි ලීගයේ ඉකුත් වසරේදී ඩයලොග් පාසල් රග්බි ලීග තරගාවලිය මෙන්ම ඩයලොග් පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේදීද ශූරයන් බවට පත්වීමට ශාන්ත පීතර කණ්ඩායමට හැකිවූ අතර අදාළ අවසන් මහා තරග දෙකෙහිදීම ඔවුන්ගේ ප්‍රතිවාදියා වූයේ ඉසිපතන විදුහල වීම කැපී පෙනෙයි.

සාන්ත පීතර විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, ශාන්ත අන්තෝනි විද්‍යාලය, ශාන්ත ජෝශප් විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මෙවර තරගාවලියේ ප්‍රබලම තරගකරුවන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“පාසල් සිසුන්ට විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරත වීම ක්‍රීඩා කටයුතුවල නිරතවීම ඔවුන්ගේ පෞරුෂය ගොඩනගන්නට ඔවුන්ට යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කරන්නට ඉතා වැදගත් වන කාරණයක්. හෙට දින රටට අවැසි නිරෝගිමත් තරුණ පරපුරක් ගොඩනැගීම උදෙසා පාසල් රග්බි ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන්නට තරඟ සංවිධානය කරන්නට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සහ එහි නිලධාරීන් විසින් ලබා දෙන දායකත්වය ඉතා අගය කළ යුත්තක්. ඒ වගේම ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩාවේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් සිටින ඩයලොග් ආයතනයටත් ඉතාමත් ස්තූතිවන්ත වනවා යැයි”‍ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

“ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ ජාතික තලය ගොඩනගන්නට පදනම සපයන්නේ පාසැල් මට්ටමෙන් ආරම්භ වෙන රග්බි ක්‍රීඩාව. පාසල් රග්බි ක්‍රීඩාවේ ප්‍රධානම අනුග්‍රාහකයා වශයෙන් ඩයලොග් ආසිආටා පී එල් සී සමාගම 2020 වසරේ පටන් මේ කාලසීමාව දක්වා විවිධ අංශ යටතේ පාසල් රග්බි ක්‍රීඩාව ගොඩනගන්නට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. පාසල් රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඩයලොග් ලබාදෙන මෙම දායකත්වය ඉතාමත් අගය කළ යුතුය යි”‍ මෙම අවස්ථාවට සහභාගි වූ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

“මෙවර තරගාවලිය සඳහා වාර්ගගත කණ්ඩායම් 84ක සහභාගීත්වයක් හිමිවීමම සුවිශේෂී ජයග්‍රහණයක්. ඉකුත් වසර කිහිපය මුළුල්ලේම, ඩයලොග් පාසල් රග්බි ලීගයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. විශේෂයෙන්ම මෙවැනි අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් ඇති අවස්ථාවක ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය වෙත දක්වනු ලබන සහයෝගය වනුවෙන් අපගේ ප්‍රධාන අනුග්‍රාහක ඩයලොග් ආසිආටා වෙත අපෙග් කෘතඥතාව පළකර සිටිනවා” යනුවෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති කමල් ආරියසිංහ මහතා පැවසීය. “මෙම කණ්ඩායම් 84 තම තමන්ගේ අදාළ තරග කාණ්ඩවල ශූරතාව දිනාගැනීම උදෙසා තරග වදිමින් උද්වේගතර තරගයක් නැරඹීමේ අවස්ථාව පිරිනමනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

“හෙට දිනන ශූරයින් සවිබල ගැන්වීම සඳහා අපගේ නොසැලෙන කැපවීමට අනුකූලව, පාසල් ක්‍රීඩා දින දර්ශනයේ වැඩිම අවධානයක් හිමිවන ඉසව්වක් වන පාසල් රග්බි ලීගය සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා,” ඩයලොග් ආසිආටා පීඑල්සී හී සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා සඳහන් කළේය. “2024 තරගවාරය සඳහා ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයට මෙන්ම සහභාගී වන සියලු‍ම පාසල් ක්‍රීඩකයන් හට අපි අපගේ සුභ පැතුම් පිරිනමනවා”‍ යැයිද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්‍රමුඛ අනුග්‍රාහකයා වේ. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සහ ජාතික පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරි නැමිම තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ශූරතාවලි සඳහා සහභාගී වීමට හැකියාව සලසමින්, ක්‍රිඩාවේ විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් කටයුතු කරනු ලබයි.