பொருள் விரிவாக்கம்

Dialog Air Fibre ජාලය ඔස්සේ නවතම Ultra Fast Home WiFi යුගයක් කරා ශ්‍රී ලංකාව බලගන්වයි

2026 ජුලි 02         කොළඹ

 

Dialog Air Fibre වාණිජමය වශයෙන් දියත් කිරීමේ උත්සවයේදී පාරිභෝගිකයෙකු සමඟ (වමේ සිට) ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ ස්ථාවර Broadband ව්‍යාපාර අංශයේ සහකාර නිෂ්පාදන කළමනාකරු (5G), ලහිරු අංජන මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි නිෂ්පාදන සංවර්ධන කළමනාකරු, පසිඳු බණ්ඩාරනායක මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සහ ගෝලීය අංශයේ ව්‍යාපාර ප්‍රධානී, තරිඳු ගුණරත්න මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී සන්නාම ප්‍රධානී (Home) ෂෙරනි සිල්වා මහත්මිය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සහකාර සන්නාම කළමනාකාරිනී, උපේක්ෂි පෙරේරා මහත්මිය ඡායාරුපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ප්‍රථම වතාවට 5G තාක්ෂණයෙන් බලගැන්වෙන ‘Dialog Air Fibre’ ජාලය වාණිජ වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කර ඇති බව සතුටින් දැනුම් දෙයි. පූර්ව ඇණවුම් අදියරේදීම පාරිභෝගිකයන්ගෙන් ලැබුණු ඉහළ ඉල්ලුම සලකා, ඩයලොග් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම, කේබල් රහිත 5G හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය මෙලෙස වාණිජ වශයෙන් දියත් කර තිබේ.

දිවයින පුරා සජීවී 5G ආවරණ කලාප 1,000කට අධික ප්‍රමාණයක් ඔස්සේ දියත් කරන ලද ‘Dialog Air Fibre’ ජාලයේ විශේෂත්වය වන්නේ, ඒ හරහා කේබල් සම්බන්ධතාවයකින් තොරව අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි වීමයි. වර්තමාන ඩිජිටල් ජීවන රටාවට ගැළපෙන පරිදි වීඩියෝ ස්ට්‍රීමිං, ඔන්ලයින් ගේමින්, වීඩියෝ ඇමතුම් මෙන්ම, නිවසේ සිට සිදුකරන රැකියා කටයුතු කිසිදු බාධාවකින් තොරව, එකවර උපාංග කිහිපයක් හරහා සිදුකර ගැනීමට මෙයින් පාරිභෝගිකයින්ට අවස්ථාව සැලසේ. මීට අමතරව, මෙහි ඇති සුවිශේෂී අභ්‍යන්තර බැටරිය හේතුවෙන් විදුලිය ඇණහිටීමකදී වුවත්, පැය 6ක් දක්වා කාලයක් පුරා අඛණ්ඩව අන්තර්ජාලය භාවිත කිරීමේ හැකියාව පවතී.

Dialog Air Fibre ජාලය සමගින් Ultra Fast අන්තර්ජාල අත්දැකීම වඩාත් පහසු කරමින් පාරිභෝගිකයින්ට තමන්ට ගැළපෙන පරිදි තෝරාගත හැකි පැකේජ තුනක් හඳුන්වාදී තිබේ. මෙම පැකේජ බදු ඇතුළත්ව හඳුන්වා දී ඇති අතර, ඒ අනුව රු. 2,795කට, 100GB Data හිමි වන පැකේජයක්ද, 200GB Data සඳහා රු. 3,795ක සහ 300GB Data රු. 5,495ක මිලකට පිරිනැමෙන පැකේජයක්ද පාරිභෝගිකයින්ට ලබාගත හැක. මීට අමතරව, Dialog Air Fibre පාරිභෝගිකයන්ට 'Dialog Play' හරහා ටෙලිවිෂන් චැනල් 100කට අධික ප්‍රමාණයක් නොමිලේ නැරඹීමේ අවස්ථාව සමඟින් තවත් ඩිජිටල් විනෝදාස්වාද අංග රැසක් අත්විඳිය හැකි පරිදි, එකම පැකේජයකින් ඉහළම විනෝදාස්වාදය පාරිභෝගික නිවෙස් කරා සමීප කරයි.

"Dialog Air Fibre, ශ්‍රී ලාංකික නිවෙස්වල අන්තර්ජාල භාවිතයේ සුවිශේෂී වෙනසක් කරන විප්ලවීය පියවරක්." යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී හි ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සහ ගෝලීය ව්‍යාපාර ප්‍රධානී තරිඳු ගුණරත්න මහතා පැවසීය. "අපගේ පුළුල් 5G ජාලයේ හැකියාව භාවිත කරමින්, පාරිභෝගිකයන්ගේ එදිනෙදා අවශ්‍යතාවලට ගැළපෙන, නම්‍යශීලී සහ විශ්වාසදායී හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් විසඳුමක් ලබා දීමට අපට හැකි වී තිබෙනවා."

පාරිභෝගික විශ්වාසය සහ සේවා ගුණාත්මකභාවය අඛණ්ඩව සුරැකීමේ අරමුණෙන්, Dialog Air Fibre සම්බන්ධතාවයක් මිලදී ගෙන පැය 48ක් ඇතුළත, කිසිදු අතිරේක ගාස්තුවකින් තොරව, පාරිභෝගිකයා සිටින ස්ථානයේ 5G ආවරණ තත්ත්වයන් පරීක්ෂා කර මෙම සබඳතාවය ස්ථාපනය කිරීම සිදුකෙරේ. මෙම පරීක්ෂාවෙන් පසුව අවශ්‍ය තාක්ෂණික ප්‍රමිතීන් සපුරාලීමට නොහැකි ස්ථානවල වෙසෙන පාරිභෝගිකයින් වෙත ගෙවන ලද මුදල සම්පූර්ණයෙන්ම ආපසු ලබාදීමට ඩයලොග් ආයතනය කටයුතු කරනු ලැබේ.

නව සම්බන්ධතා ලබාගැනීමට කැමති පාරිභෝගිකයන්ට දිවයින පුරා පිහිටි ඕනෑම Dialog Experience Center එකක් වෙත පිවිසිය හැකිය. වැඩි විස්තර සඳහා dialog.lk වෙබ් අඩවිය හෝ 0777 678 678 අංකයෙන් WhatsApp හරහා DIA සමග සම්බන්ධ විය හැක. එසේත් නොමැති 1777 Hotline අංකය ඇමතිය හැක.