Body

ඩයලොග් සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව, වගකීම් සහගත විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය උදෙසා දිස්ත්‍රික් නිලධාරීන් බලගන්වයි

2026 සැප්තැම්බර් 04         කොළඹ

 

වමේ සිට : ඩයලොග් ආසිආටා පීඑල්සී කණ්ඩායම සමඟ මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) දිස්ත්‍රික් නිලධාරීන් ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සහ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) එක්ව සංවිධානය කරන ලද වගකීම් සහගත විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ පුහුණුකරුවන් පුහුණු කිරීමේ (Training of Trainers - ToT) විශේෂ වැඩසටහන, 2026 සැප්තැම්බර් 01 වන දින මධ්‍යම පරිසර අධිකාරී ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි. 2026 අගෝස්තු 03 වන දින ඩයලොග් ආසිආටා පීඑල්සී සහ මධ්‍යම පරිසර අධිකාරිය අතර අත්සන් තබන ලද 'e-Kunu' අවබෝධතා ගිවිසුමෙන් පසුව, දිවයින පුරා වගකීම් සහගත විද්‍යුත් අපද්‍රව්‍ය භාවිතයන්, චක්‍රීය ආර්ථික සංකල්ප සහ පරිසර හිතකාමී අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම උදෙසා තැබූ තවත් දැවැන්ත හා ප්‍රායෝගික පියවරක් ලෙස මෙම වැඩසටහන හඳුන්වාදිය හැක.

මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරීන්, ප්‍රාදේශීය මට්ටමින් ජනතාව තුළ දැනුවත්භාවය වැඩි කරන ප්‍රධාන බලවේග බවට පත් කිරීමේ අරමුණෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම නියෝජනය කරමින් දිස්ත්‍රික් නිලධාරීන් 75 දෙනෙකු සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් 25 දෙනෙකු ඇතුළුව සමස්ත නියෝජිතයින් 100 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙහිදී, 'e-Kunu' ව්‍යාපෘතිය, චක්‍රීය ආර්ථික සංකල්ප, විද්‍යුත් අපද්‍රව්‍ය සම්බන්ධ රෙගුලාසි සහ වගකීම්සහගත ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේද පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් එම නිලධාරීන්ට ලබාදෙන අතර, ඩයලොග් සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව පාසල්, ප්‍රජා සංවිධාන සහ මහජනතාව සඳහා අඛණ්ඩව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය සමඟින් ප්‍රායෝගික මඟපෙන්වීම මෙමගින් නිලධාරීන් වෙත ලබාදෙන ලදී.

ශ්‍රී ලංකාව පුරා පිහිටි ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 24 ක ස්ථාපිත කර ඇති 'e-Kunu' එකතු කිරීමේ බඳුන් හරහා, කුඩා ප්‍රමාණයේ විද්‍යුත් අපද්‍රව්‍ය පහසුවෙන් ලබාදීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසේ. මෙසේ එකතු කරගනු ලබන සියලුම විද්‍යුත් අපද්‍රව්‍ය, පරිසර හිතකාමී සහ විධිමත් ලෙස සකස් කිරීම හා බැහැර කිරීම සඳහා බලපත්‍රලාභී අපද්‍රව්‍ය කළමනාකරණ ආයතන වෙත භාර දීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා ලෙස පරිසර සුරක්ෂිතතාව වෙනුවෙන් දක්වන කැපවීම සනිටුහන් කරමින්, ඩයලොග් ආයතනය, 2025 වසරේදී පමණක් මහජනතාවගෙන් එක්රැස් කරගත් විද්‍යුත් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 3.74 ක් සහ අභ්‍යන්තර විද්‍යුත් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 668 ක් වගකීම්සහගත ලෙස කළමනාකරණය කර ඇති අතර, භාවිතයෙන් ඉවත් කරන ලද ජාල උපකරණ 100% ක්ම නිල ප්‍රතිචක්‍රීකරණ පාර්ශ්වකරුවන් හරහා ප්‍රතිචක්‍රීකරණය කිරීමටද පියවර ගෙන තිබේ.

මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරීන් සතු දැනුම හා හැකියාවන් වර්ධනය කිරීම හරහා, දිවයින පුරා නිවාස, ව්‍යාපාර, පාසල් සහ ආයතන වගකීම්සහගත ලෙස විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කිරීමේ යහපත් පුරුදු වෙත යොමු කිරීමත්, එමගින් වඩාත් පිරිසිදු හා තිරසාර අනාගතයක් වෙනුවෙන් දායකත්වය ලබාදීමත් ඩයලොග් සහ මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන අරමුණයි. ඩයලොග්-CEA 'e-Kunu' වැඩසටහන, භාරගනු ලබන විද්‍යුත් අපද්‍රව්‍ය වර්ගීකරණය සහ දිවයින පුරා පවතින බැහැර කිරීමේ පහසුකම් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට https://ekunu.lk/ වෙත පිවිසිය හැක.