Body

ඩයලොග් නෙත් සුවය, Vision 2030 හා අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකාවේ වැළැක්විය හැකි අන්ධ භාවය අවම කිරීමට කටයුතු කරයි

December 5th, 2023         Colombo

 

 Official Website to Support Inclusive Online Journeys

ඡායාරූපය වමේ සිට දකුණට : වෛද්‍ය නිලධාරී, එච්. යූ. එන් දිසානායක, මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. කිරුෂාන්, රජයේ හෙද නිලධාරිනී (PHNS) එස්. එච්. වයි. කෆූර්, රජයේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි (SPGNO) එන්. ස්වර්ණලතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, Vision 2030 (Vision 2030 Insight වැඩසටහන) හි ජාතික සම්බන්ධීකාරිකා වෛද්‍ය චම්පා පී. බානගල, ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය කපිල බන්දුතිලක, රජයේ හෙද නිලධාරිනී (PHNS), කේ.එල්.එස්. සිල්වා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසාර අංශ ප්‍රධානී සහ අවදානම් සහ අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන, ප්‍රධාන වෛද්‍ය නිලධාරී (MOIC) වෛද්‍ය සී.එම්. ජයලත් යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ දැක්වෙති.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී ක්‍රියාවට නංවන නෙත්සුවය වැඩසටහනේ තවත් අදියරක් ලෙසින්, මෙරට අවශ්‍යතා සහිත පාසල් සිසු දරු දැරියන් සඳහා ඇස්කණ්නාඩි පිරිනැමීමේ මාහැඟි සත්කාරය පසුගියදා ඇරඹුණි. ලෝක දෘෂ්ටි දිනයට සමගාමීව, සෞඛ්‍ය අමාත්‍යාංශය හා අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකාව තුළ වැළැක්විය හැකි අන්ධභාවය අවම කිරීමේ අරමුණින් අවශ්‍යතා සහිත සිසු දරු දැරියන්ට ඇස් කණ්නාඩි ලබා දෙමින් ඔවුන්ගේ අධ්‍යාපනයට ශක්තියක් වීමට ඩයලොග් ප්‍රතිඥා දී තිබේ.

මෙලෙසින් අවශ්‍යතා සහිත පාසල් දරු දැරියන් වෙනුවෙන් ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ ජාතික මෙහෙවර වෙනුවෙන් ඩයලොග් උර දෙන්නේ, මෙරට ජාතික සෞඛ්‍යය පද්ධතිය නගා නගාසිටුවීමේ පියවරක් ලෙසින් සෞඛ්‍ය අමාත්‍යාංශය දියත් කර ඇති Vision 2030 වැඩසටහන හා අඛණ්ඩව අත්වැල් බැඳ සිටින අතරතුරය. ශ්‍රී ලංකාව තුළ වැළැක්විය හැකි අන්ධභාවය අවම කිරීමේ අරමුණෙන් 2007 වසරේදී දියත් කරන ලද Vision 2020, ලෝක සෞඛ්‍ය සංවිධානය, අන්ධභාවය වැළැක්වීම සඳහා වන ජාත්‍යන්තර නියෝජිතායතනය එක්ව ක්‍රියාත්මක කරන වැඩසටහනක දේශීය වැඩසටහනයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමයයි. ඒ සමගින් නිරතුරුවම අත්වැල් බැඳගෙන සිටින ඩයලොග් එමගින්, ශ්‍රී ලංකාව තුළ වැළැක්විය හැකි අන්ධභාවය අවම කිරීමේ ජාතික ප්‍රයත්නය වෙනුවෙන් මෙලෙස එක්වෙයි.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ පුළුල් අරමුණට එක්වන ඩයලොග්, ලෝක දෘෂ්ටි දිනයට සමගාමීව, තිරසර සංවර්ධන ඉලක්ක 4 හි දැක්වෙන ‘ළමුන් සඳහා ගුණාත්මක අධ්‍යාපනය’ සාක්ෂාත් කර ගැනීම සඳහා අධ්‍යාපනයට එල්ලවන ප්‍රධාන බාධාවන් මගහරවා ගැනීමට සහාය වෙමින්, මෙම ජාතික ප්‍රයත්නය වෙනුවෙන් කැප වෙයි. ඒ අනුව, පාසල් අක්ෂි සායනවලින් ඇස් කණ්ණාඩි ලබා ගැනීමට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කෙරුණු, අවශ්‍යතා සහිත සිසු දරු දැරියන් වෙත එමගින් ඇස් කණ්නාඩි ලබා දෙනු ලැබේ. ඉකුත් වසර ගණනාව පුරාම, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය නගා සිටුවීමෙහිලා සුවිශේෂී අන්දමින් පෙරමුණ ගන්නා ඩයලොග්, එම මාහැඟි කාර්යය වෙනුවෙන්, ඩයලොග් කුසලතා ශිෂ්‍යත්ව, නැණස ටෙලිවිෂන් නාලිකා මෙන්ම, නැණස ස්මාර්ට් පාසල් වැඩසටහනද අඛණ්ඩව දියත් කරයි. එමෙන්ම, ඒ සඳහා මේ වන විටත් සමාගම රු. බිලියනයකට වැඩි මුදලක්ද ආයෝජනය කර තිබේ.

“නෙත්සුවය තුළින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ Vision 2030 වැඩසටහන සමඟ අපට අත්වැල් බැඳ ගැනීමට ලැබීම සතුටට කාරණයක්. මෙම වැඩසටහන තුලින්, ශ්‍රී ලාංකික ජීවිත සවිබල ගන්වමින් නගාසිටුවීමේ හා සීමා මායිම් නැති අනාගත සමාජයක් නිර්මාණය කිරීමේ අපගේ දැක්ම මූර්තිමත් කරයි.” යනුවෙන්, ඩයලොග් ආසිආටා පීඑල්සී හී සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පවසයි.

2016 වසරේ පටන් මෙරට වැළැක්විය හැකි අන්ධභාවය අවම කිරීමේ අරමුණෙන් විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවන ඩයලොග්, ශ්‍රී ලංකාව පුරා අක්ෂි සායන විශාල ප්‍රමාණයක් පවත්වා 27 363 දෙනකු අක්ෂි පරීක්ෂණයන්ට ලක් කර තිබේ. එමෙන්ම, ග්‍රාමීය ප්‍රදේශවල අවශ්‍යතා සහිත පිරිස සඳහා මේ වනවිටත් ඇස් කණ්නාඩි, 19 823 ක්ද බෙදා දී තිබේ. එම සත්කාරය තවදුරටත් පුළුල් කරමින්, ඉදිරියේදී නෙත් සුවය වැඩසටහන හරහා පාසල් සිසු සිසුවියන්ට ඇස් කණ්ණාඩි ලබා දීමට ඩයලොග් කටයුතු කරයි.