பொருள் விரிவாக்கம்

ඩයලොග්, ශ්‍රී ලංකාවේ දැවැන්තම පාසල් ක්‍රිකට් ඉසව්ව 146 වැනි නිල් මහ සටන බලගන්වයි

2025 පෙබරවාරි 27         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

‌වමේ සිට) ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායක (1st XI) කවිඳු ඩයස්, රාජකීය විද්‍යෘලයේ, රෝයල් තෝමියන් ඒකාබද්ධ තරග සංවිධායක කමිටුවේ සම-සභාපති රමේෂ් අබේවික්‍රම, රාජකීය විද්‍යාලයේ විදුහල්පති, එල්. ඩබ්. ක්‍රිෂාන්ත පෙරේරා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි උපසභාපති - සන්නාම හා මාධ්‍ය, හර්ෂ සමරනායක, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන නිලධාරී - Dialog Enterprise, නවීන් පීරිස්, ශාන්ත තෝමස් විද්‍යාලයේ වැඩබලන පාලක අසංක පෙරේරා, ශාන්ත තෝමස් විද්‍යාලයේ, රෝයල් තෝමියන් ඒකාබද්ධ තරග සංවිධායක කමිටුවේ සම-සභාපති අර්ජුන වෛද්‍යසේකර, රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායක (1st XI) රමිරු ‌පෙරේරා යන පිරිස ඡායාරූපයේ දැක්වේ.

මෙරට පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැවැන්තම ඉසව්ව මෙම වසරටද කැඳවමින්, ශාන්ත තෝමස් විද්‍යාලය සහ ඔවුන්ගේ සාම්ප්‍රදායික ප්‍රතිවාදියා වන කොළඹ රාජකීය විදුහල අතර 146 වැනි ‘නිල් මහ සටන’, 2025 මාර්තු 06, 07 සහ 08 යන දිනවල, කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ පොහොසත් සම්ප්‍රදාය, ආවේණික විලාසයන් සහ අසමසම ඉතිහාසයක් රාව ප්‍රතිරාව නැංවෙමින් ලොව දෙවැනි දීර්ඝතම අඛණ්ඩ පාසල් ක්‍රිකට් තරග මාලාව වන මෙය කොළඹ ප්‍රධාන පාසල් දෙකක් අතර වන අචල මිත්‍රත්වයට සහ ක්‍රීඩාශීලීත්වයට ප්‍රබල සාක්ෂියකි. මෙහි රැඳි උත්කර්ෂවත් බව තවත් ඉහළ නංවමින්, බොහෝදෙනා පුල පුලා බලා සිටි ‘මස්ටෑන්ග් කුසලාන’ වාර්ෂික එක්දින තරගය 2025 මාර්තු 15 වැනි දින කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

‘නිල් මහ සටන’ යනු තවත් එක් ක්‍රිකට් තරගයක් නොව, ක්‍රිකට් ක්‍රීඩාවට අපූර්ව දායකත්වයක් සැපයූ, මෙරට වාසීන්ගේ හදගැස්ම බවට පත්වූ, වසර 150 කට ආසන්න කාලයක් පුරා පැවත එන තරගකාරීත්වයේ සහ සහෝදරත්වයේ වෘත්තාන්තයකි. ඒ අනුව අතීතයේ පටන් වර්තමානය දක්වාම රාජකීයන් සහ තෝමසුවන්ගේ සංකේතාත්මක වර්ණ වූ නිල්, රන්වන් සහ කළු පැහැයෙන් සැරසී සිය පොහොසත්උරුමය සැමරීම වෙනුවෙන් යළිත් ඒකරාශී වනු ඇත. ‍එසේම ක්‍රීඩාගාරවලින් නැංවෙන ජයඝොස, ලෙලදෙන ධජ සහ සාම්ප්‍රදායික ගීතවල දෝංකාරයෙන් එස්.එස්.සී පිටිය එකම ක්‍රීඩා සැණකෙළියක් බවට පත්වද්දී පාසල් සිසුන්, ආදි සිසුන් මෙන්ම ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීහු ක්‍රීඩාවේ ජීවගුණයේ නාමයෙන් ඒ වටා රොක්වනු ඇත. ශ්‍රී ලංකාවේ තමන්ගේම මහ තරගය ලෙස බෙහෝ දුරට හැඳින්වෙන මෙම සටන, ඉදිරියෙදී ජාතික සහ ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්වීමට නියමිත අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ පිටිය මැද රංගනය ඇස් පනාපිට දැක ගැනීම පිණිස අවස්ථාවක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා සහ මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සමග නිබඳව රැ‍‌ඳෙන අනුග්‍රාහකයකු වන ඩයලොග් ආසිආටා පී.එල්.සී විසින්‍ මෙවරද මෙම ඓතිහාසක සටන බලගන්වනු ලබයි. යොවුන් දක්ෂතා පෝෂණය කිරීම සහ ක්‍රිකට් ක්‍රීඩාවේ මීළඟ පරම්පරාවේ විශිෂ්ටයන් පෝෂණය කිරීම සඳහා නිබඳව කැපවන එම සමාගමේ එකතුව, නිල් මහ සටනේ උ‍රුමය පෙර නොවූ විරූ ලෙස ශක්තිමත්ව රැඳී පවතින බවට සහතිකයකි. එම සමාගමේ මෙම සහය, අන්‍රගාහකත්වයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අනාගතය වෙනුවෙන් කරනු ලබන ආයෝජනයක් ද වේ.

‘නිල් මහ සටන’ යනු ක්‍රිකට් තරගයකින් ඔබ්බට යන්නකි. එය රාජකීයන් සහ තෝමසුවන් අතර පරම්පරා ගණනාවක් පුරා පවතින සහයෝගශීලීත්වය, ක්‍රීඩාශීලීත්වය සහ සම්ප්‍රදායන් ඒකරාශී කරන උරුමයකි. මෙම ඓතිහාසික සටන, යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට සිය කුසලතා ඔප්නංවා ගැනීමට මෙන්ම විනය, කණ්ඩායම් හැඟීම සහ නොපසුබට උත්සහය ආදී අප පාසල් විසින් මූර්තිමත් කරන අගයන් විදහා දැක්වෙන වේදිකාවක් බවටද පත්වේ. මේ කීර්තිමත් තරග ඉසව්ව තවදුරටත් ඔසවා තැබීමට මෙන්ම ඉදිරි වසරවලදීද එහි විශිෂ්ටත්වය සහතික කරමින් ඒ සඳහා පිරිනැමෙන ඩයලොග් හි අචල සහය අපි මහත් සේ අගය කරමු" යනුවෙන් රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය විසින් නිකුත්කළ ඒකාබද්ධ නිවේදනයකින් කියා සිටියි.

මෙම අවස්ථාව පිළිබඳ අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා හි සමූහ ප්‍රධාන නිලධාරී - Dialog Enterprise, නවීන් පීරිස් "ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් දින දර්ශනයේ වඩාත්ම කැපී පෙනෙන ඉසව්ව වන 'නිල් මහ සටන' සමගින් වන අපගේ දිගුකාලීන සහයෝගය තවදුරටත් පෙරට රැගෙන යෑමට හැකිවීම ගැන ඩයලොග් හි අප මහත් සේ ආඩම්බර වනවා. ‍පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයට සහයවීම සඳහා අපගේ මෙම කැපවීම, යොවුන් දක්ෂතා පෝෂණය කිරීම සහ ජීවිත කාලයක් පුරා ක්‍රීඩාව සම්බන්ධයෙන් පවතින ඇල්ම පිළිබඳ අපගේ විශ්වාසය විදහා දැක්වෙන්නක්. මෙම නිල් මහ සටන සහ මස්ටෑන්ග් කුසලාන ආදී ඉසව් ඔස්සේ, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පොහොසත් සම්ප්‍රදායන් ආරක්ෂා කරන අතරවාරයේ මීළඟ පරම්පරාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා සංවර්ධනය සඳහා දායක වීමද අපි අපේක්ෂා කරනවා. මෙම ඓතිහාසික සටන අප විසින් බලගැන්වෙන අයුරින්ම හෙට දවසේ ශූරයන් බලගැන්වීම පිණිස ද අප කැපවී කටයුතු කරනවා" යි පැවසීය.

146 වැනි නිල්මහ සටනේ සහ මස්ටෑන්ග් කුසලාන සඳහා වන ප්‍රවේශපත්‍ර රාජකීය විද්‍යාල සංගමයෙන් සහ ගල්කිස්ස ශාන්ත තොමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගම් ලේකම් කාර්යාලයෙන් මිලදීගත හැක. ශ්‍රී ලංකාවේ අංක එකේ පාසල් ඉසව්ව වටා ‍දැවැන්ත ප්‍රේක්ෂක පිරිසක් ඒකරාශීවන බැවින් ඒ සඳහා කල් ඇතිව ප්‍රවේශපත් වෙන්කරගැනීම වඩා යෝග්‍ය වේ. 146 වැනි නිල් මහ සටන සහ මස්ටෑන්ග් කුසලානය සමග ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය, සම්ප්‍රදාය සහ ක්‍රීඩාශීලීත්වය සැමරිම සඳහා ශ්‍රී ලංකාවේ උසස්ම 5G Ready ජාලය සමගින් එක්වන ලෙස ශ්‍රී ලාංකික ක්‍රිකට්ලෝලීන් වෙත ඩයලොග් ආරාධනා‌ කරයි.

ඩයලොග් ටෙලිවිෂන් හී නාලිකා අංක 126- ThePapare TV ඔස්සේ high definition ලෙසින් ද, ThePapare.com සහ Dialog ViU app ඔස්සේද නරඹන්නන් වෙනුවෙන් මෙය විකාශනය කෙරෙයි. එසේම ThePapare හී ඉහළම මට්ටමේ සජීවී ආවරණය, මෙම මහතරග වාරය පුරාවට රට පුරා පාසල් 40කට අධික සහභාගීත්වය ලබන තරග වෙනුවෙන් මෙවර හිමිවනු ඇත.