பொருள் விரிவாக்கம்

ඩයලොග් සහ ආසිආටා සමූහයේ අධ්‍යක්ෂක ආචාර්ය හාන්ස් විජයසූරිය GSMA සභාපති සම්මානයෙන් පිදුම් ලබයි

March 5th, 2024         Colombo

 

Dr. Hans Wijayasuriya Receives GSMA Chairman's Award

ඩයලොග් ආසිආටා හි මව් සමාගම වන ආසිආටා ගෲප් බර්හාඩ් හි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය පසුගියදා ස්පාඤ්ඤයේ බාසිලෝනා හිදී පැවති මොබයිල් ලෝක සමුළුවෙහිදී, GSMA හි වටිනාම සම්මානය වන සභාපති සම්මානයෙන් පිදුම් ලැබීය. ලොව මොබයිල් සන්නිවේදන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා විශිෂ්ට දායකත්වයක් දක්වන පුද්ගලයින් සහ ආයතන අගයමින් GSMA සභාපති සම්මානය පිරිනැමෙන අතර, ගෝලීය මොබයිල් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා දක්වන කැපී පෙනෙන දායකත්වය අගයමින් ආචාර්ය හාන්ස් විජයසූරිය වෙත එම සම්මානය ප්‍රදානය කෙරිණි.

ආසියානු කලාපය පුරා විදුලි සංදේශ ක්ෂේත්‍රයෙන් මිලියන 170 කට අධික ග්‍රාහක පිරිසකට සේවාව සලසන විශාලතම විදුලි සංදේශ සමාගම් සමූහයක් වන ආසිආටා සමූහය නියෝජනය කරමින්ආචාර්ය හාන්ස් විජයසූරිය, ගෝලීය මොබයිල් ක්ෂේත්‍රයේ නියාමන මණ්ඩලය ලෙසින් සැලකෙන GSMA (Global System for Mobile Communications) හි අධ්‍යක්ෂ මණ්ඩලයෙහිද කටයුතු කරයි.ආසිආටා සමූහයෙහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසින් මැලේසියාව, ඉන්දුනීසියාව, කාම්බෝජය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව පුරාම ඩිජිටල් විදුලි සංදේශ සම්බන්ධ මෙහෙයුම් කටයුතු ඔහු විසින් අධීක්ෂණය කරනු ලබයි. එපමණක් නොව, ආසිආටා සමූහයේ ව්‍යවසාය සහ ජාත්‍යන්තර ව්‍යාපාර මෙන්ම, එහි ජාත්‍යන්තර මෘදුකාංගය සම්බන්ධ කටයුතු හා ඩිජිටල් පරිවර්තන ඒකකය වන ආසිආටා ඩිජිටල් ලැබ් (ADL) ද, ආචාර්ය හාන්ස් විජයසූරියගේ කීර්තිමත් වෘත්තීය විෂය පථයට ඇතුළත් ය.

ඩයලොග් ඇතුළුව ආසිආටා සමූහයේ අනෙකුත් මෙහෙයුම් සමාගම්, මේ වන විට ලොව අති නවීන තාක්ෂණික හැකියාවන් ඉහළ නංවමින් ආසියානු කලාපයේ මොබයිල් සන්නිවේදන ක්ෂේත්‍රය තුළ පුරෝගාමීන් ලෙසින් කටයුතු කරයි. එමෙන්ම, මොබයිල් සන්නිවේදන ක්ෂේත්‍රයෙන් කලාපය පුරාම කැපී පෙනෙන බලපෑමක් ඇති කිරීම අතින්ද එම සමාගම්වලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මෑතකදී, GSMA හි Open Gateway වැඩසටහන ආසියානු කලාපය තුළ ප්‍රවර්ධනය කිරීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලැබුවේද ආසිආටා සමූහය විසිනි. මොබයිල් සන්නිවේදනය කලාපීය හා ගෝලීය වශයෙන් ඉහළ නැංවීම උදෙසා ආසිආටා සමූහයේ කණ්ඩායම් හා කටයුතු කරන ආචාර්ය හාන්ස් විජයසූරිය, මේ වන විට GSMA හි වැඩසටහන් ගණනාවක් වෙනුවෙන්ම සිය ක්‍රියාකාරී දායකත්වය දක්වා තිබේ.

ඩයලොග් සමාගමෙහි සමූහ ප්‍රධාන විධායක ලෙසින් ආචාර්ය හාන්ස් විජයසූරිය 1997 වසරේ සිට 2016 වසර දක්වා කීර්තිමත් සේවා කාලයක් සටහන් කළ කාලය, ඩයලොග් සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සනිටුහන් කළ කාල පරිච්ඡේදයකි. එම කාලය තුළ ක්ෂේත්‍රයට පිවිසි හතරවැනි සමාගම ලෙසින් මෙරට මොබයිල් ක්ෂේත්‍රයට සිය සම්ප්‍රාප්තිය සටහන් කිරිමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ සුවිශාලතම විදුලි සංදේශ සන්නිවේදන සේවා සම්පාදකයා බවට පත් වීමට ඩයලොග් වෙත හැකි විණි. එම කාලය ඇතුළත ආසියාවේ ප්‍රමුඛතම Quad Play හා ඩිජිටල් සේවාවන් සපයන සමාගමක් බවට පත්වීමටද ඩයලොග් වෙත හැකියාව ලැබුණු අතර, මූල්‍ය තාක්ෂණ සේවා සහ ඩිජිටල් සෞඛ්‍ය අංශ ආදී ක්ෂේත්‍රයන්හිද සමාගම සිය ස්ථාවරත්වය තහවුරු කරගනු ලැබිණි. GSM Asia Pacific, හි හිටපු සභාපතිවරයකුද වන ආචාර්ය හාන්ස් විජයසූරියගේ සේවා කාලය අතරතුර එනම්, 2016 වසරේදී GSMA විසින්, Asia Mobile Awards සම්මාන උළෙලේ ඉහළම සම්මානයට ඔහු පාත්‍ර කරන ලදී. ඒ, ආචාර්ය හාන්ස් විජයසූරිය විසින් ‘ආසියානු මොබයිල් ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වන ලද විශිෂ්ට දායකත්වය’ උදෙසා ය. එපමණක් නොව, මෙරට ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMDසඟරාව, 2008 වසරේ දී "වසරේ ශ්‍රී ලාංකිකයා" ලෙසින් නම් කරනු ලැබු‍වේද, ඩයලොග් හා ආසිආටා හි මෙම කීර්තිමත් වෘත්තිකයා ය.