Body

මෙරට පෞද්ගලික අංශයේ සමාගම් සහ ආයතන කිහිපයක් එක්ව ක්‍රියාවට නංවන ‘මනුදම් මෙහෙවර’ සහන සැපයීමේ වැඩසටහන සමඟ යුනිලිවර් සමාගම අත්වැල් බැඳගනීයි

පීඩාවට පත්වූ පවුල් 200,000 කට අධික සංඛ්‍යාවකට සහන සැලසීම අරමුණු කරයි

අගොස්තු 25, 2022         කොළඹදී

 

Unilever Joins Manudam Mehewara Emergency Relief Initiative

ඡායාරූපයේ වමේ සිට දකුණට: Dialog Axiata PLC හි සමූහ අලෙවි අංශයේ ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී - සන්නාම හා මාධ්‍ය හර්ෂ සමරනායක, සර්වොදය ශ්‍රමදාන ව්‍යාපාරයේ වැඩ බලන විධායක අධ්‍යක්ෂ කමල් ගමගේ, Dialog Axiata PLC හි Dialog Enterprise සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරිස්, යුනිලිවර්  ශ්‍රී ලංකා සමාගමේ Personal Care සහ Beauty & Wellbeing සම්බන්ධ අලෙවි අධ්‍යක්ෂිකා නිලූෂි ජයතිලක, යුනිලිවර්  ශ්‍රී ලංකා සමාගමේ Home Care සහ Nutrition සම්බන්ධ අලෙවි අධ්‍යක්ෂිකා ශාමිලා බණ්ඩාර, යුනිලිවර්  ශ්‍රී ලංකා සමාගමේ මාධ්‍ය හා ප්‍රවර්ධන ප්‍රධානී චන්න තෙන්නකෝන් සහ යුනිලිවර්  ශ්‍රී ලංකා සමාගමේ නියාමන, ආයතනික සම්බන්ධතා හා බාහිර සන්නිවේදන ප්‍රධානී හරිනි රාජදාස.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින පවුල් සහ ප්‍රජාවට කඩිනමින් සහන සැලසීම අරමුණු කරගනිමින් Dialog Axiata PLC, MAS Holdings, Hemas Holdings PLC, බෙදාහැරීමේ සහකරු වශයෙන් සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ විගණන සහකරු වශයෙන් PwC Sri Lanka යන ආයතන එක්ව ආරම්භ කරන ලද 'මනුදම් මෙහෙවර' මානුෂීය ක්‍රියාන්විතයට පසුව ක්‍රම ක්‍රමයෙන් CBL සමූහය, Citi බැංකුව, Sunshine Holdings PLC, Huawei Technologies Lanka Co යන සමාගම්ද එක්වූ අතර Unilever සමාගමද පසුගියදා මෙම වැඩසටහන සමඟින් එක්විය.

සමාජීය යහපැවැත්ම අරමුණු කොටගත් හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක කරන ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන මගින් දිවයින පුරා පීඩාවට පත්ව සිටින ප්‍රජාව අතරින් පවුල් 200,000ක් ඉක්මවා හදිසි සහන සැලසීම අරමුණු කර ඇත. මේ වන විට දිස්ත්‍රික්ක 25 පුරාම හදිසි සහන බෙදා හැරෙමින් පවතින අතර, මේ දක්වා අවශ්‍යතා සහිත පවුල් 100,000කට වැඩි සංඛ්‍යාවකට ආධාර ලබාදී තිබේ. ඵලදායී ආර්ථික ප්‍රතිසාධන සැලැස්මක් තුළින් තිරසාර ප්‍රතිලාභ හුවමාරු ක්‍රමයක් රට තුළ ස්ථාපිත කිරීම දක්වා ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන සිය සහන කටයුතු අඛණ්ඩව රැගෙන යනු ඇත.

'මනුදම් මෙහෙවර' මානුෂීය ක්‍රියාන්විතයට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම එක්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම අලෙවි අධ්‍යක්ෂිකා නිලූෂි ජයතිලක මහත්මිය සඳහන් කර සිටියේ ‘‘අපගේ සහෝදර ශ‍්‍රී ලාංකිකයින් මුහුණ දෙමින් සිටින ආර්ථික දුෂ්කරතා හා අභියෝග පිළිබඳව අප ඉමහත් සේ සංවේදී වෙනවා. යුනිලිවර් ආයතනය සහ අපගේ සන්නාමයන් ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් සලසාදීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටිනවා.එනමුත් අද අපි මුහුණ දී සිටින ජාතික අර්බුදයෙන් පීඩනයට පත් අතිමහත් ජනතාවට සහන ලබාදීම සඳහා මේ ආකාරයෙන් විවිධ පාර්ශ්වකරුවන් එකට එක්වීම තුළින් ජාතික මට්ටමේ වෙනසක් ඇති කළ හැකි බවට අපි විශ්වාස කරනවා. එ් සඳහා අවශ්‍ය වේදිකාව නිර්මාණය කිරීම පිළිබඳව Dialog, සර්වෝදය මෙන්ම අනෙකුත් ආරම්භක හවුල්කරුවන් වෙත මේ මොහොතේ මාගේ ස්තූතිය පුද කර සිටිනවා.’’ යනුවෙනි.

Dialog Axiata PLC හි Dialog Enterprise සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරිස් මහතා මෙසේ සඳහන් කළේය. “මෙවැනි අසීරු කාලසීමාවක දරිද්‍රතාවයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල්වලට අත්‍යවශ්‍ය හදිසි සහන කඩිනමින් සලසාදීම වෙනුවෙන් සමාගම් හා ආයතන සාමුහිකත්වයෙන් කටයුතු කිරීම විශිෂ්ට ක්‍රියාවක් ලෙස මා දකිනවා. මෙම මානුෂීය ක්‍රියාන්විතයට එක්වෙමින් සමස්ත සමාජයටම සුවිසල් බලපෑමක් ඇති කිරීමට සමත් දායක්තවයක් ලබාදීම වෙනුවෙන් මම Unilever සමාගමට ස්තුතිවන්ත වෙනවා. සමාජීය යහපැවැත්ම අරමුණුකොටගත්  හවුල්කරුවන් සමඟ එක්ව දැඩි ලෙස පීඩාවට පත් පවුල් 200,000 කට අත්‍යවශ්‍ය හදිසි සහන සැලසීම වෙනුවෙන් අප විසින් ක්‍රියාත්මක කරනු ලබන මානුෂීය ක්‍රියාන්විතය තුළ මේ වන විට පවුල් 100,000 කට අධික පිරිසකට හදිසි සහන සලසාදීමට අපට හැකිවී තිබෙනවා. මෙම සාමූහික ප්‍රයත්නය වෙනුවෙන් අප සමඟ එක්වන ලෙස මම මේ රටේ සෙසු සියලුම සමාගම්වලටද ඇරයුම් කරනවා. සාමූහිකත්වය හරහා අපට විශාල වෙනසක් ඇති කළ හැකීයි.

දිවයින පුරා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින පවුල්වලට අවශ්‍ය කඩිනම් සහන සැලසීම වෙනුවෙන් ගන්නා සාමූහික ප්‍රයත්නය සමඟ එක්වන ලෙස ‘මනුදම් මෙහෙවර’ සෙසු සියලු පුරවැසියන්ට හා ආයතනවලට ඇරයුම් කරයි. ඕනෑම පුද්ගලයෙකුට https://dlg.lk/donate වෙබ් අඩවියට පිවිස සිය ක්‍රෙඩිට්/ ඩෙබිට් කාඩ්පත භාවිතයෙන් හෝ බැංකු හුවමාරුවකින්, Star Points හුවමාරුවකින්, eZ Cash, Genie, බැංකු තැන්පතු හෝ 077 642 1421 අංකයට සිදුකරන top – up කිරීම්  හරහා මේ සඳහා දායක විය හැක.

‘මනුදම් මෙහෙවර’ පිළිබඳ වැඩි විස්තර සඳහා https://dlg.dialog.lk/manudam-mehewara වෙත පිවිසෙන්න.