பொருள் விரிவாக்கம்

ඩයලොග් සවිබලයෙන්, පැරාලිම්පික් ක්‍රීඩාවේ බලාපොරොත්තු දල්වමින් ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම පැරිස් බලා නික්ම යයි

2024 අගෝස්තු 28         කොළඹදී

 

Dialog Customers Contribute to Little Hearts

ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජංගම දුරකථන අංශයේ ව්‍යාපාර ප්‍රධානී යුෂාන් ගුණතිලක විසින් පැරිස් හි පැවැත්වෙන පැරාලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා පිරිනමන ඩයලොග් අනුග්‍රාහකත්වය, කණ්ඩායම් නායක සමිත දුලාන් සහ ජාතික පාරාලිම්පික් කමිටුවේ (NPC) සභාපති කර්නල් දීපාල් හේරත් වෙත නිල වශයෙන් පිරිනැමූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමාජ නවෝත්පාදන අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකර අසිත් ද සිල්වා සහ ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම මෙම අවස්ථාවට සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා සහ ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ ප්‍රබලතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙවර ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට සාදර අනුග්‍රහය දක්වන බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කරනු ලැබීය. මෙම අගෝස්තු මාසයේදී, පැරිස් නුවරදී පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ දස්කම් දැක්වීමට නියමිත අට දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම හෙල්ල විසිකිරීමේ ශූරයකු වන සමිත දුලාන් විසින් මෙහෙයවනු ලබන අතර, පැරාලිම්පික් ක්‍රීඩාවලින් සුවිශේෂී දස්කම් විදහා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කණ්ඩායමට ඇතුළත් වෙති. ක්‍රිඩාවේ ඔරොත්තු දීමේ හැකියාවෙන් හා අධිෂ්ඨානයෙන් පිරිපුන්ව, ශ්‍රී ලාංකීය අභිමානයෙන් ඔද වැඩුණු ක්‍රීඩක ක්‍රීඩිකවෝ මෙම උළෙලේදී සිය ජාත්‍යන්තර පැරාලිම්පික් දක්ෂතා විදහා දැක්වීමට නියමිතය. පැරාලිම්පික් ක්‍රීඩක ක්‍රීඩීකාවන්ට ජාත්‍යන්තර දක්ෂතා විදහා දැක්වීම සඳහා සවිබල ගන්වන ඩයලොග්, ඉකුත් වසර 23 තිස්සේම ශ්‍රී ලංකාවේ පැරාලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්‌ගේ සිහින සැබෑ කරමින්, ජාතික පැරාලිම්පික් කමිටුවේ (NPC) නිත්‍ය අනුග්‍රාහකයෙකු ලෙසින් කටයුතු කරයි.

මව් රටට කීර්තිය හිමිකර දීමේ අරමුණ පෙරදැරි ‘රෝඩ් ටු පැරිස්’ කණ්ඩායම මෙහෙයවන සමිත දුලාන්, ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නේ, F44 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙනි. ඒ සමඟින් T44 පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා තරග වදින නුවන් ඉන්දික සහ T46 පිරිමි මීටර් 1500 ඉසව්වට තරග වදින ප්‍රදීප් සෝමසිරි කණ්ඩායමට ඇතුළත් අනෙකුත් දක්ෂයෝය. මෙම උළෙලේදී, ක්‍රීඩක පාලිත බණ්ඩාර T42 පිරිමි වෙඩි තැබීමේ ඉසව්වෙන් දක්ෂතා දැක්වීමට නියමිත අතර, ප්‍රසන්න ජයලත් සහභාගි වන්නේ T42 පිරිමි මීටර් 100 සඳහා ය. ජනනි ධනංජනා, T47 කාන්තා දුර පැනීම ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර, පිහිනුම් ක්‍රීඩක නවීඩ් රහීම් සහභාගි වන්නේ, S9 පිරිමි මීටර් 400 නිදහස් ආර ඉසව්ව සඳහාය. ක්‍රීඩක රන්ජන් ධර්මසේන පිරිමි විවෘත කේවල රෝද පුටු ටෙනිස් ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ හිමිකර දීම සඳහා තරග වදියි.

පසුගිය වසර කිහිපය පුරාම ශ්‍රී ලාංකීක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර පැරාලිම්පික් පිටිය කැපී පෙනෙන දස්කම්වලින් වර්ණවත් කිරීමට සමත්ව තිබේ. දක්ෂ ක්‍රීඩකයකු වන ප්‍රදීප් සංජය, 2012 වසරේ ලන්ඩන් නුවර පැවති පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 400 T46 කාණ්ඩයේ ලෝකඩ පදක්කම තත්පර 49.28 කින් දිනාගනිමින් පැරාලිම්පික් ඉතිහාසයේ නමක් දිනූ ක්‍රීඩකයෙකි. ඒ, එම ඉසව්වෙන් ජයග්‍රහණ හිමිකරගත් මුල්ම ශ්‍රී ලාංකිකයා ලෙසිනි. ශ්‍රී ලාංකික පැරාලිම්පික් උරුමය ජාත්‍යන්තර පිටියට ගෙනගිය ක්‍රිඩකයකු වන දිනේෂ් ප්‍රියන්ත හේරත්, 2016 දී රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් අතර, 2019 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ එම ඉසව්වෙන් රිදී පදක්කමට හිමිකම් කීවේද ඔහු ය. එපමණක් නොව, ඔහු 2020 ටෝකියෝ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදීද කැපි පෙනුණු ක්‍රීඩකයෙක් වූයේ ශ්‍රී ලංකාවට ප්‍රථම රන් පදක්කම හිමිකර දෙමිනි. ඔහුගේ කණ්ඩායම් සගයකු වූ සමිත දුලාන් කොඩිතුවක්කු, F64 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තේ, පෞද්ගලික හොඳම දුර වන, මීටර් 65.61 වාර්තා කරමිනි. මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට ජයග්‍රහණ මගින් ඉකුත් කාලය පුරාම ඉස්මතු කෙරුණේ, ශ්‍රී ලාංකීය පැරාලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර පිටියේ බලවත් වන අන්දමත්, ඔවුන් සතු අධිෂ්ඨානශීලීත්වයත්ය.

ශ්‍රී ලාංකීය ක්‍රීඩාව උදෙසා ඩයලොග් පිරිනමන දීර්ඝකාලීන සහයෝගිතාවයෙන් මෙවරත් ඵල ලබන මෙරට පැරාලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිය හැකියාව, දක්ෂතාව සහ නොසැලෙන කැපවීම තුළින් පැරාලිම්පික් ක්ෂේත්‍රය බැබලවීමට සැරසෙති. 2000 වසරේ පටන් ජාතික පැරාලිම්පික් කමිටුව සමගින් ඩයලොග් පවත්වාගෙන යන සහයෝගීතාවය, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට දියුණු කර ගනිමින්, රටට සුවිශාල ජයග්‍රහණ අත්කර ගතහැකි පරිසරයක් ගොඩනැගීම සඳහා ඉවහල් ව තිබේ. එමෙන්ම, මෙම දිගුකාලීන සහයෝගිතාව, ක්‍රීඩක ක්‍රීඩාකාවන්ද ඇතුළුව ආබාධ සහිත පිරිස බලගන්වමින්, ඔවුන්ට සහය වීම සඳහා වන ඩයලොග් සතු නොසැලෙන කැපවීම විදහා දක්වන හොඳම සාක්ෂියකි. ක්‍රීඩාවට අනුග්‍රහය දැක්වීමෙන් පමණක් නොනැවතී, ආබාධ සහිත පිරිස සඳහා අන්තර්කරණය ප්‍රවර්ධනය කරන තාක්ෂණික සහය පිරිනැමීම අතින්ද පුරෝගාමී මෙහෙවරක ඩයලොග් නියැලෙයි.

මෙලෙස සිය තිරසාර සහයෝගය පිරිනමන ඩය‌ලොග්, ශ්‍රී ලාංකික පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ජාත්‍යන්තර පිටිය සඳහා ඔප් නංවමින්, සුවිශේෂී ජයග්‍රහණ සමගින් ජාත්‍යන්තර පිටියෙහි බැබලිය හැකි පරිසරයක් තනා තිබේ. ශ්‍රී ලාංකික පැරා ක්‍රීඩික ක්‍රීඩිකාවෝ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙහි රන් පදක්කම් 1ක් හා ලෝකඩ පදක්කම් 3ක්, ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කම් 2ක් සමග ලෝකඩ පදක්කම් 3ක් මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලී ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් සහ දිනා ගැනීමට සමත් වූ අතර, ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 18ක් සහ ලෝකඩ පදක්කම් 22ක් දිනා ගනිමින් ජාත්‍යන්තර පිටියේ සුවිශේෂී ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් වූහ. එලෙසින් ඉකුත් වසර කිහිපය පුරාම ලබාගත් සියලු විශිෂ්ට ජයග්‍රහණ, ඩයලොග් පවත්වා ගන්නා මෙම සහයෝගිතාවයේ ප්‍රතිඵල වේ.

පැරාලිම්පික් ක්‍රීඩකයින් සඳහා සහයෝගය පිරිනැමීමට අමතරව, ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්‍රමුඛ අනුග්‍රාහකයා වේ. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සහ ජාතික පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරි නැමිම තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ශූරතාවලි සඳහා සහභාගී වීමට හැකියාව සලසමින්, ඩය‌ලොග්, ක්‍රිඩාවේ විවිධත්වය, සමානාත්මතාව හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් කටයුතු කරනු ලබයි.