பொருள் விரிவாக்கம்

ඩයලොග්, නිල ඩිජිටල් සහකරු ලෙසින් 2026 ජාතික වෙසක් කලාපය බලගන්වයි

ජාතික AI වෙසක් සුබපැතුම් පත් තරගාවලිය සහ VR තාක්ෂණික අත්දැකීම් හරහා වෙසක් අසිරිය ජනතාවට තවත් සමීප කරයි

2026 මැයි 28         (කොළඹ)

 

Dialog Powers National Vesak Zone 2026 as Official Digital Partner

 

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගනිමින් මෙවර මාතර පැවැත්වෙන, 2026 ජාතික වෙසක් කලාපයේ නිල ඩිජිටල් සහකරු ලෙසින් කටයුතු කරයි. මෙම දායකත්වයේ තවත් සුවිශේෂී පියවරකට එළඹෙමින්, දිවයින පුරාම ජනතාවට AI තාක්ෂණයේ නවතම මානයන් ඇසුරු කරගත් තම නිර්මාණකරණය තුළින්, මෙවර වෙසක් අසිරිය හා එක්වීමට අවස්ථාව උදාකරයි. ඒ අනුව, ශ්‍රී ලංකාව පුරා, අධිවේගී ‘Dialog 5G Ultra’ ජාලයෙන් බලගැන්වෙන 5G සම්බන්ධතාවය සමගින් AI තාක්ෂණික අත්දැකීම් එක් කරන, ‘2026 ජාතික AI වෙසක් සුබපැතුම් පත් තරගාවලිය දියත් කර තිබේ.

මෙවර වෙසක් උත්සවය අතිශය නිර්මාණශීලී මෙන්ම නැවුම් ඩිජිටල් අත්දැකීමක් ඔස්සේ සැමරීමට මඟ පාදන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක, උද්යෝගිමත් නිර්මාණකරුවන්ට ‘Dialog AI’ හෝ වෙනත් ඕනෑම AI තාක්ෂණික මෙවලමක් භාවිතයෙන් නිර්මාණය කරන ලද වෙසක් සුබපැතුම් පත් 2026 මැයි 21 වැනිදා සිට ජුනි 01 වනදා දක්වා ඉදිරිපත් කළ හැක. එමඟින් සෑම වයස් කාණ්ඩයකම ශ්‍රී ලාංකිකයින්ටම තම නිර්මාණ සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීම දිරිගන්වමින්, එම සුබ පැතුම්පත් අතරෙන් තෝරාගන්නා ජයග්‍රාහකයින් 10 දෙනෙකුට ‘Dialog A76 5G’ ස්මාර්ට් ජංගම දුරකතන පිරිනැමීමටද කටයුතු යොදා තිබේ. එමෙන්ම අවසන් වටය සඳහා තෝරාගන්නා AI වෙසක් සුබපැතුම් පත්, මාතර පැවැත්වෙන ජාතික වෙසක් කලාපයේදී ප්‍රදර්ශනය කිරීමටද නියමිතය. එම කලාපයේ ඇති QR කේත ස්කෑන් කිරීමෙන්, අවසන් වටයේ ජයග්‍රාහී AI වෙසක් සුබපැතුම් පත්, ඩවුන්ලෝඩ් කරගැනීමටද අවස්ථාව සලසා තිබේ. එය, ශ්‍රී ලාංකිකයින්ට වඩාත්ම සුවිශේෂී වන සංස්කෘතික හා ආගමික උත්සවයක් අතරතුර, ‘Dialog 5G Ultra’ ජාලය හරහා AI මෙවලම් භාවිතයෙන්, සජීවීව නිර්මාණකරණයේ යෙදීමට ඇති හැකියාව විදහා දක්වමින්, සාම්ප්‍රදායික උරුමයන්, නූතන තාක්ෂණය ඔස්සේ යා කරන මාහැඟි අවස්ථාවක් බවටද පත් වෙයි.

එමෙන්ම, 2026 ජාතික වෙසක් කලාපයේ තම පරිශ්‍රය තුළට පැමිණෙන ජනතාව, අධිවේගී Dialog 5G තාක්ෂණයෙන් බලගැන්වුණු සුවිශේෂී VR අත්දැකීමක් කරා රැගෙන යාමටද ඩයලොග් සූදානම් වේ. එම පරිශ්‍රයේදී, බැතිමතුන්ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ අටමස්ථානය ඇතුළු පූජනීය ස්ථාන වන්දනාමාන කිරීමේ අවස්ථාව සුවිශේෂී VR අත්දැකීමක් ලෙසිනු පිරිනමන අතර, ඩය‌ලොග් දියත් කළ පුරෝගාමී QR රීලෝඩ් ක්‍රමයෙන් බලගැන්වුණු, Data දන්සල හරහා ජනතාවට නොමිලේ Data පිරිනැමිමද සිදුකෙරේ. ඉකුත් වෙසක් සමයේ මෙන්ම, මෙවරත් එම Data දන්සල, බෞද්ධාලෝක වෙසක් කලාපයේද, ගංගාරාම වෙසක් කලාපයේද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ සියලු ප්‍රයත්නයන්, වෙසක් මංගල්‍යය හා බැඳුණු සුවිශේෂී ආගමික උරුමය, අතිනවීන තාක්ෂණය සමඟ වඩාත් අර්ථවත් ලෙස බද්ධ කෙරෙන කදිම අවස්ථාවන් වනු ඇත.

මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙසේ සඳහන් කළේය. "ආගමික උරුමය, නිර්මාණශීලිත්වය සහ තාක්ෂණය එක්කරන මෙවැනි වැඩසටහන් 2026 ජාතික වෙසක් කලාපය තුළින් ජනතාව වෙත ගෙන ඒම සඳහා, අපගේ අමාත්‍යාංශය ඩයලොග් සමාගම සමඟ අත්වැල් බැඳ ගනු ලැබුවා. AI තාක්ෂණය ඔස්සේ නිර්මාණශීලීව වෙසක් උත්සවයට දායක වීමට අවස්ථාව සැලසීම වගේම, පූජනීය බෞද්ධ සිද්ධස්ථාන සුවිශේෂී ඩිජිටල් අත්දැකීම් ලෙසින් සමීප කිරීම තුළින්, ජනතාවට වෙසක් උත්සවයේ නියම හරය සහ ආධ්‍යාත්මික වටිනාකම සමඟ වඩාත් ඒකාත්මික වීමට නවතම අවස්ථාවක් විවර කෙරෙනවා.”

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා සිය අදහස් දක්වමින් සඳහන් කළේ මෙලෙසයි. "ශ්‍රී ලාංකීය සංස්කෘතිය, නිර්මාණශීලිත්වය සහ අතිනවීන තාක්ෂණය අර්ථවත් අයුරින් එක්කරන, මෙම සුවිශේෂී ජාතික කටයුත්ත සඳහා ප්‍රමුඛ පෙළේ දායකයකත්වයක් ලබාදීමට ඩයලොග් සමාගමට අවස්ථාව ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට අපගේ හෘදයාංගම කෘතඥතාව පිරිනමනවා. ඒ සමග, ශ්‍රී ලාංකිකයින්ගේ සුවිශේෂී උත්සවයක් වන වෙසක් උත්සවයට සමගාමීව, AI වෙසක් සුබපැතුම් පත් තරගාවලිය දියත් කිරීමෙන්, ඩිජිටල් නවෝත්පාදන, ජනතාවට වඩාත් පහසුවෙන් භාවිත කළ හැකි, සියලු දෙනා ඇතුළත් මෙන්ම සියලු ශ්‍රී ලාංකිකයින්ට අදාළ නවෝත්පාදන ලෙසින් සමීප කිරීිම අපගේ අරමුණයි. ශ්‍රී ලාංකිකයන්ට AI සහ 5G තාක්ෂණයේ අසීමිත හැකියාවන් වඩාත් ආකර්ෂණීය ලෙස අත්විඳීමට මෙලෙස අවස්ථාව පිරිනැමීම, ‘අනාගතය අදයි’ යන ඩයලොග් සන්නාම පොරොන්දුව සැබෑවක් බවට පත් කිරීමට අප දක්වන කැපවීම කියාපාන්නක්."

2026 ජාතික AI වෙසක් සුබපැතුම් පත් තරගාවලිය සඳහා ඉදිරිපත් වන තරගකරුවන්ට AI තාක්ෂණය භාවිත කර, තමන් විසින් නිර්මාණය කළ වෙසක් සුබපැතුම් පත් 2026 මැයි 21 සිට ජුනි 01 දක්වා කාලය තුළ https://dakshinaprabha.com/ වෙබ් අඩවිය ඔස්සේ ඉදිරිපත් කළ හැක. මෙවැනි සුවිශේෂී වැඩසටහන් හරහා, සංස්කෘතික වටිනාකම් අගයමින් නිර්මාණශීලිත්වය දිරිගන්වන අතරේ, AI හා 5G තාක්ෂණයේ නවතම හැකියාවන් සමීප කරවන නවතම ඩිජිටල් අත්දැකීම් පිරිනමමින්, ශ්‍රී ලාංකිකයන් සවිබල ගැන්වීමට ඩයලොග් සමාගම නිරන්තරයෙන් කැපවී සිටියි.