Body

ඩයලොග්, තෙවන වසරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනතා ආදරය දිනාගත්, ‘විදුලි සංදේශ’ සහ ‘සේවා’ සන්නාමය ලෙස ඇගයීමට පාත්‍ර වෙයි

2026 ජූලි 03         කොළඹ

 

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, LMD සඟරාව මඟින් පවත්වනු ලබන Brands Annual වාර්ෂික සන්නාම ඇගයීමේදී ‘විදුලි සංදේශ’ සහ ‘සේවා’ කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලාංකිකයින් අතර වඩාත්ම ආදරයට පාත්‍ර වන සන්නාමය’ ලෙස මෙවරත් අභිෂේක ලබා තිබේ. මෙම ඇගයීමෙන්, මෙරට ප්‍රමුඛතම ආයතනික සන්නාමයන් අතර පෙරමුණ ගනිමින්, Dialog සමාගම අඛණ්ඩව තෙවන වරටත් ඉහත කාණ්ඩ ද්විත්වයේම ප්‍රථම ස්ථානයට තේරී පත්ව තිබීමද විශේෂත්වයකි. එය, නවීන තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලාංකීය ජන ජීවිත හා ව්‍යවසාය සවිබල ගන්වමින්, රටේ අභිවෘද්ධිය උදෙසා සමාගම දක්වන නොසැලෙන කැපවීම පිළිබිඹු කරන මනා සාක්ෂියකි.

Media Services ආයතනය වෙනුවෙන් PepperCube Consultants විසින් ස්වාධීනව මෙහෙයවන ලද මෙම වාර්ෂික අධ්‍යයනය, පාරිභෝගික විශ්වාසය, පක්ෂපාතීත්වය සහ සන්නාම ආකර්ෂණය ඉහළින්ම දිනාගත් සන්නාමයන් මෙලෙස ඇගයීමට ලක් කරමින් දිවයිනේ විවිධ පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් විවිධ තරාතිරම්වල පාඨකයින් 400 දෙනෙකුගේ සහභාගි කර ගනිමින් පවත්වා තිබේ.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තේවරප්පෙරුම මහතා මෙසේ සඳහන් කළේය. “විදුලි සංදේශ සහ සේවා ක්ෂේත්‍ර දෙකෙන්ම ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන සන්නාමය ලෙස තේරී පත්වීම තුළින්, ශ්‍රී ලාංකිකයන් අප කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසය සහ අභිමානවත් බැඳීම මැනවින් විදහා දැක්වෙනවා. තාක්ෂණික දියුණුවත් සමඟ වෙනස් වන අපගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින්, ඔවුන්ව ඩිජිටල් ලෝකය වෙත යා කිරීමටත්, ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික ප්‍රගමනයට දායක වීමටත් අප නිරන්තරයෙන්ම කැපවී සිටිනවා.”

රටපුරා 5G සම්බන්ධතාවය ව්‍යාප්ත කිරීම හා AI තාක්ෂණයෙන් බලගැන්වෙන ඩිජිටල් අත්දැකීම් ප්‍රචලිත කිරීමද ඇතුළත්ව, නිර්මාණශීලී නවෝත්පාදන හඳුන්වාදෙමින්, පාරිභෝගික කේන්ද්‍රීය සේවාවන් සහ අනාගත තාක්ෂණික දියුණුව උදෙසා සමාගම නිරන්තරයෙන් සිදුකරන ආයෝජන, ඩයලොග් වෙත මෙම ඇගයීම හිමිවීමට ඉවහල් වූ ප්‍රධාන සාධක වී තිබේ.

ඩිජිටල්කරණය, 5G තාක්ෂණය මෙන්ම AI තාක්ෂණයෙන් බලගැන්වෙන සේවාවන් හඳුන්වාදෙන අතර, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට වඩාත් උසස් ඩිජිටල් අත්දැකීම් හිමිකර දෙමින්, රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා ඩයලොග් දක්වන අඛණ්ඩ දායකත්වය, මෙම ඇගයිමෙන් විදහා දැක්වේ. සන්නිවේදනයෙන් ඔබ්බට ගිය මානුෂීය මෙහෙවරකද නිරත ඩයලොග්, මිලියනයකට අධික ගොවීන් සඳහා 'ගොවි මිතුරු' AI සේවාව සහ සිසුන් 450,000කට අධික පිරිසකට සහන සලසන 'ශිෂ්‍යාධාර' වැනි වැඩසටහන් හරහා සමාජ සවිබල ගැන්වීම් සිදු කරයි. තවද, 2050 වන විට කාබන් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමේ ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති භාවිතය මෙන්ම, සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක ජාල යටිතල පහසුකම් පුළුල් කිරීම හරහා පාරිසරික වගකීම උදෙසාද බැඳි සිටියි.

ශ්‍රී ලාංකික ජනතාව තුළ ඩයලොග් සන්නාමය කෙරෙහි පවතින මෙම නොසැලෙන ජනතා ප්‍රසාදය තවදුරටත් තහවුරු කරමින්, SLIM-KANTAR People’s Awards 2026 උළෙලේදී ද, ඩයලොග් සමාගම අඛණ්ඩව 15 වන වරටත් ‘වසරේ විශිෂ්ටතම විදුලි සංදේශ සන්නාමය’ සහ 5 වන වරටත් ‘වසරේ විශිෂ්ටතම සේවා සන්නාමය’ ලෙස ජනතා සම්මානයෙන් පිදුම් ලැබීය.