பொருள் விரிவாக்கம்

අනාගත ආයතනික ගමනාගමන කටයුතු සඳහා ඩිජිටල් පහසුව සැලසීමට, Dialog Touch සහ HelaGo එක්වෙයි

2026 ඔක්තෝබර් 20         කොළඹ

 

(වමේ සිට) Dialog Finance PLC හි ආයතනික ඩිජිටල් විසඳුම් අංශයේ ජ්‍යෙෂ්ඨ විධායක, කරීන්ද්‍ර මලවිපතිරණ, ආයතනික ඩිජිටල් විසඳුම් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී, ශිවන්ති පෙරේරා, Dialog Finance PLC හි ප්‍රධාන ව්‍යාපාර නිලධාරිනී සචිනි ද සිල්වා, Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරී රේණුකා ප්‍රනාන්දු, HelaGo ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ධනික පෙරේරා, HelaGo ආයතනයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සනොජ් සිරිවර්ධන, HelaGo හි අධ්‍යක්ෂ හා ප්‍රධාන තාක්ෂණ නිලධාරී කාවින් මෙන්ඩිස් සහ එම ආයතනයේ ගෙවීම් සේවා මෙහෙයුම් අංශයේ කළමනාකරු චන්දිම බස්නායක යන මහත්ම මහත්මීන් ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ වඩාත්ම උසස් ආයතනික ඉන්ධන කළමනාකරණය සම්බන්ධ පුරෝගාමී විසඳුම වන Dialog Axiata PLC හි Touch Card, ආයතනික ගමනාගමන කටයුතු සඳහා ඩිජිටල් ගෙවීම් පහසුව සැලසීම වෙනුවෙන්, HelaGo සමඟ අත්වැල් බැඳගන්නා ලදී. ඒ අනුව, මෙරට ආයතනවලට තම කාර්ය මණ්ඩලයේ ප්‍රවාහන කටයුතු මෙන්ම අනෙකුත් ආයතනික ගමන්බිමන් සඳහා ගෙවීම් කිරීමේදී, වඩාත් පහසු හා ආරක්ෂිත ඩිජිටල් ක්‍රමවේද හරහා සිදුකර ගැනීමට අවස්ථාව ලැබේ.

ආයතන දෙක අතර සහයෝගිතාව සඳහා නිල වශයෙන් අත්සන් තැබීම, 2026 සැප්තැම්බර් 23 වැනිදා Dialog ආයතනයේදී සිදුකෙරිණි. ඒ, HelaGo කණ්ඩායම සමඟින්, එම ආයතනයේ නිර්මාතෘ ධනික පෙරේරා මහතාගේත්, Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනී, රේණුකා ප්‍රනාන්දු මෙනෙවියගේත් ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකාවේ ආයතනික ප්‍රවාහන කටයුතු සඳහා ඩිජිටල් ගෙවීම් පහසුව ඒකාබද්ධ කරන මෙම සුවිශේෂී සහයෝගිතාවයට අත්සන් තැබීම, මෙරට ව්‍යාපාර නඟා සිටුවීම උදෙසා ගත් සුවිශේෂී පියවරකි.

මෙම සහයෝගීතාවයෙන් පසු, ආයතනික පාරිභෝගිකයන්ට HelaGo මඟින් සිදුකරන ගමන් බිමන්වලදී Dialog Touch භාවිතයෙන් පහසුවෙන් ගෙවීම් කළ හැකි වීම විශේෂත්වයකි. ආයතනවල ප්‍රවාහන කටයුතු සඳහා වන සියලුම ගෙවීම් කටයුතු, කාර්යක්ෂම ලෙස පහසුවෙන් ඉටුකර ගැනීමට ඉඩකඩ සලසන මෙම සහයෝගිතාවයෙන්, ආයතනයේ ගමන් බිමන් වියදම් මනාව පාලනය කරගැනීමට හැකි වන අතර, ඒ අනුව මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාවය ඉහළ නංවාගැනීමටද හැකියාව ලැබේ. එමෙන්ම, ආයතනික ගමන්බිමන්වලදී කාර්ය මණ්ඩල සාමාජිකයින්ට, ඩිජිටල් ගෙවීම් පහසුව අත්විඳීමටද මෙම සහයෝගිතාව කදිම අවස්ථාවකි.

මේ පිළිබඳව අදහස් දක්වමින්, රේණුකා ප්‍රනාන්දු මෙනෙවිය සඳහන් කළේ මෙසේයි. "ආයතනික ප්‍රවාහන ක්ෂේත්‍රය නිරන්තරයෙන් වෙනස් වන කාලයක, කාර්ය මණ්ඩලයේ ගමන්බිමන් සඳහා ගෙවීම් කිරීමට, වඩාත් ස්මාර්ට්, පහසු සහ ආරක්ෂිත විසඳුම් අවශ්‍යයි. HelaGo සමඟ අප ගොඩනඟා ගත් මෙම සහයෝගිතාවයෙන් පිළිබිඹු කෙරෙන්නේ, ආයතනික ප්‍රවාහන කටයුතු සරල කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට වැඩි පහසුවක්, ප්‍රචාරණයක් මෙන්ම, මනා පාලනයක් ලබාදීම සඳහා Dialog Touch සතු ඩිජිටල් නවෝත්පාදන කැපවීමයි.”

HelaGo නිර්මාතෘ ධනික පෙරේරා මහතා සඳහන් කළේ මෙසේයි. “Dialog Touch සමඟ සිදුකළ මෙම හවුල්කාරිත්වය, විශ්වාසනීය සහ බාධාවකින් තොර ආයතනික ගමන් අත්දැකීමක් ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට ලබාදීමට HelaGo සතු හැකියාව තවත් ශක්තිමත් කරයි. ගමනාගමනය පහසුව සහ ආරක්ෂිත ඩිජිටල් ගෙවීම් එක් කිරීමෙන්, සේවක ප්‍රවාහනය වඩාත් සරල, ස්මාර්ට් සහ කාර්යක්ෂම කිරීම අපගේ අරමුණයි.”

මෙම සුවිශේෂී සන්ධිස්ථානය තුළින් අවධාරණය කෙරෙන්නේ, වඩාත් කාර්යක්ෂම, ඩිජිටල් නවෝත්පාදන විසඳුම් භාවිතයෙන් ගෙවීම් පහසුව එක්කර, ආයතනික ප්‍රවාහන ක්ෂේත්‍රය නඟා සිටුවමින්, ශ්‍රී ලංකාවේ ගමනාගමන ක්ෂේත්‍රයේ නවතම පරිවර්තනය උදාකිරීමට Dialog හි කැපවීමයි. එපමණක් නොව, ආයතනික ප්‍රවාහන ක්ෂේත්‍රය, ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද කරා අනුගත වීමේ හැකියාව වේගවත් කිරීමටද මෙම විසඳුම ඉවහල් වනු ඇත.

Dialog Touch හරහා ආයතනවල ප්‍රවාහන කටයුතු සඳහා යොදාගන්නා ඉන්ධන සහ විද්‍යුත් වාහන (EV) සඳහා වන ප්‍රවාහන ගාස්තු පහසුවෙන් පාලනය කිරීමට මෙන්ම ඒවා පිළිබඳ ප්‍රමාණ අධීක්ෂණයක් පවත්වා ගැනීමටත් ව්‍යාපාරවලට අවස්ථාව හිමි වේ. මෙම පරිපූර්ණ පද්ධතිය හරහා, ගනුදෙනු එම අවස්ථාවේදීම නිරීක්ෂණය කිරීමේ (Tracking) පහසුව, අවශ්‍යතාව පරිදි වෙනස් කළ හැකි ඉන්ධන හා බලශක්ති කෝටා මෙන්ම, දිවයින පුරා පිහිටි 600කට අධික ඉන්ධන පිරවුම්හල් ජාලයක් හරහා ලබාගන්නා සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් හැකියාවද සැලසේ. GreenEV, Recharge.lk සහ chargeNET වැනි දිවයින පුරා විසිරුණු විද්‍යුත් වාහන සඳහා ආරෝපණ මධ්‍යස්ථානහරහා සේවාවන් ලබාගැනීමේදී, ඩිජිටල් wallet top-up පහසුකම් මෙන්ම, Kangaroo Cabs, PickMe සහ HelaGo හරහා ආයතනික ගමන් පහසුකම් ද ඒකාබද්ධ කරන Dialog Touch, මෙරට ආයතනික ක්ෂේත්‍රයේ පරිපූර්ණ ප්‍රවාහන විසඳුමක් ලෙසින් ශක්තිමත් පැවැත්මක් සනිටුහන් කරයි.